එගොඩෙත් බැලිමි එගොඩෙත් රතු පොල් පොත්තා
මෙගොඩෙත් බැලිමි මෙගොඩෙත් රතු පොල් පොත්තා
දෙගොඩෙම බැලිමි දෙගොඩෙත් රතු පොල් පොත්තා
කොයි ද මෙතැන හිටගෙන හිටු ලෑ පොත්තා
මෙගොඩ ගමේ ඇවිදින්නේ රතු බල්ලෝ
මෙගොඩ ගමේ ඇවිදින්නේ කලු; බල්ලෝ
දෙගොඩ ගමේ සිටියා කිවු මොන බල්ලෝ
එම්බල දුස්‌ටයෝ කොයි බොල ඒ බල්ලෝ
එගොඩ ගොඩේ වී පැදුරේ පරෙයියා
මෙගොඩ ගොඩේ තණ පදුරේ කොබෙයියා
පොළොව පලාගෙන එන්නේ මොරෙයියා
ඉතින් තොපට සිවුපද නැති හෝයියා
වැව්වා හොඳයි කලු හබරල ගේ එක්‌ක
ඉව්වා හොඳයි කලු හබරල පොල් එක්‌ක
කෑවා හොඳයි කලු හබරල පොල් එක්‌ක
ආවා දිනෙක තොපෙ අම්මා මා එක්‌ක
වැව්වේ මොටද කලු හබරල ගේ එක්‌ක
ඉව්වේ මොටද කලු හබරල මුල් එක්‌ක
කෑවේ මොටද කලු හබරල පොල් තක්‌ක
ආවා දිනෙක තොපෙ අම්මත් අප එක්‌ක
තල් අත්තේ තල් ඉරටෙන් කපඤ්ඤා
පොල් අත්තේ පොල් ඉරටෙන් කපඤ්ඤා
ඉඳි අත්තේ ඉඳි ඉරටෙන් කපඤ්ඤා
සිවුපද කියන තමුසෙගෙ දිව කපඤ්ඤා
කපා දියන් මගෙ නෑනෝ කුරක්‌කන්
අහසත් ගුගුලලා වැහි එන අදික්‌කන්
ඇඟිලිත් ඉහිරිලා වැනෙනා කුරක්‌කන්
එන්නත් කියාලා නාවේ තරක්‌කන්
නෑනත් නාවාට නාරිමි කුරක්‌කන්
ගල්වානේ මහයායේ කුරක්‌කන්
අත දිගහැර මිට මොළවන කුරක්‌කන්
ඇඟිලි ඉහිරිලා එක රුව කුරක්‌කන්
ගෑණුන් මරන පලදාවකි කුරක්‌කන්
කුරක්‌කන් කපන වාරෙත් ආපි ළමා
ඉනේ තිබෙන වත ඇඳපන් දෙපොට තමා
කනේ තිබෙන කොළ මැදපන් දියෙන් තෙමා
වට පිට නොබලන්න නුඹෙ අත කැපෙයි ළමා
අරුවේ කුරුක්‌කන් කැපුමට යන හැටියා
දෙරුවේ හබක බැලුවම මිමිනි පැටියා
අල්ලේ ලුණු මිරිස් බැලුවම රස කැටියා
පැදුර යටින් එන්නේ මිමිනි පැටියා