අන්දරේ උඹ ද ඔය පැල් රකින්නේ
ගින්දරේ නැතුව මදුරන් තළන්නේ
යන්තරේ නොවෙද පපුවේ ගැහෙන්නේ
අන්දරේ කියන් ඇයි දුක් විදින්නේ
ලස්‌සන හිම වතේ මා වී පැසෙන්නේ
දුක්‌දෙන අලි සතුන් පන්නා හරින්නේ
රැක්‌මෙන සියලු දෙවියෝ බත් බුදින්නේ
දුක්‌පත් කම නිසයි මම පැල් රකින්නේ
පැලක් තිබපණාට බැරි තනියෙන් ඉන්න
ගලක් තිබුණාට බැරි ගින්දර ගන්න
මලක් පිපුනාට නෑ රොන් ගෙන යන්න
මලේ කනත්තෙන් බැරි සරමක් ගන්න
පැලක් සදා දුන්නේ පැල උඩ ඉන්න
බුලත් පුවක් ගෙනවිත් දුන්නේ කන්න
කඩේ සරොම් බැරි අඩු ගණනෙට ගන්න
සිලින් හතට පුළුවන් සරමක් ගන්න
සිවුපද කියන්නට බැරිනම් අහන් හිටු
කවර කලද ගල පිට මල පිපෙන්නේ
කවර කලද ජල පිට දුම නගින්නේ
කවර කලද මෙවර සුළගට වැනෙන්නේ
කවර කලද තොපි අපි සමඟි වෙන්නේ
වැල්ගිය නම් ගල පිට මල පිපියි බොලන්
නැව් ගිය නම් ජල පිට දුම නගියි බොලන්
වෙර ඇත්නම් මෙර සුළඟට වැනෙයි බොලන්
සිත ඇත්නම් තොපි අපි සමඟි වෙයි බොලන්
වත්තේ ගසේ තල ඔලලේ ඔලොම්බා
ගඟට නැමුණු අත්තේ පළු මුරුංගා
නැට්‌ට පුරුචි වැටිලා යන කුරුම්බා
තොපෙ රට නැද්ද විකුණන කාමරංගා
එගොඩත් බැලිමි එගොඩත් සුදු වට්‌ටක්‌කා
මෙගොඩත් බැලිමි මෙගොඩත් සුදු වට්‌ටක්‌කා
දෙගොඩම බැලිමි දෙගොඩම සුදු වට්‌ටක්‌කා
තුට්‌ටු දෙකට දෙනවද තගෙ ලොකු අක්‌කා
එගොඩත් බැලිමි එගොඩත් ඉන්නම් මුත්තා
මෙගොඩත් බැලිමි මෙගොඩත් ඉන්නම් මුත්තා
දෙගොඩම බැලිමි දෙගොඩම ඉන්නම් මුත්තා
තොපෙ සිවුපස වලට මගෙ සිවුපද ගොඩ මුත්තා
එගොඩත් බැලිමි එගොඩත් සුදු පිඟානේ
මෙගොඩත් බැලිමි මෙගොඩත් සුදු පිඟානේ
දෙගොඩම බැලිමි දෙගොඩම සුදු පිඟානේ
තොපෙ සිවුපද වලට මගෙ සිවුපද විදානේ