18 වන පිටුව
 

යහපත් මිතුරු ඉන්නා ඔය ඉහළ පැලේ
කොහොමත් බැරිය නවතන්නට ඌරු රැලේ
කියතොත් තදට උන් බිය වී දුවති කැලේ
කියතොත් තරගෙටම පැල්කවි කියමු මලේ


පොර කාලේ කරපු අකුසල් වල අපලා
මෙම කාලේ විඳිති දුක්‌ පැල් වලට වෙලා
රජ කාලේ සිටන් පුරුදුයි පැල් රැකලා
ලොකු රාළේ කියමු පැල්කවි තෝරාලා


සොයා නොබලාම මිග දොඩනා අයට
නයා බය වේද මැඬියාගේ හඩට
දයා වෙන් පළමු පැල්කවි කීවාට
කියා බලමු එළිවෙන තුරු එරඟයට


නුමුදු ගජන් සිය නිය පහරින් පළනා
විලස මාව පරදා ගන්ට ජය ගෙනා
කොහොමද බලන්නට ඇවිදින් අද මෙවනා
නුඹ ද කියාපන් තරගෙට එන හපනා


ඉර පවරා කියතොත් මම කියන්නම්
සඳ පවරා කියතොත් මම කියන්නම්
කිඳුරු හඩින් කියතොත් මම කියන්නම්
තෑගි දෙතොත් හොද පැල්කවි කියන්නම්


ඉර පවරා කියතොත් නුඹ කියාපන්
සඳ පවාරා කියතොත් නුඹ කියාපන්
කිඳුරු හඩින් කියතොත් නුඹ කියාපන්
තෑගි දෙන්ට හොද පැල් කවි කියාපන්


පැල්කනු හයකි ගෝගාලෙකි ගිනි මඩකි
ඉන්උඩ තනකි යට ලීයෙකි පරා ලෙකි
පොල් අතු හයකි ඉරි දොළහකි විය මනකි
දෙවියෝ බුදුන් සහ මම රකිනා පැලකි


සට සට ගාන වැහි පොද ටික ටිකයි බොලන්
සී සී කියයි වෙල් එළියේ පදින සුළන්
මලිති බටිති දෙමළිති හඩ නැතිය බොලන්
දහසක්‌ බුදුන් එළි නොවෙනා රැයකි බොලන්


පැල් පොත්තක්‌ යට ඉද රොටියක්‌ උයලා
පොල් නැති රටේ පුලුටක්‌ සමඟින් කාලා
කල් ගිය රෙදි කඩක්‌ ඉන වට දවටාලා
පැල් කවි කියමු අපි අද ලිප මුලට වෙලා


අයියෝ දෙවියනේ මට වුණු වියෝයා
පැලේ පැදුර සොරු අරගෙන ගියෝයා
ගෙදර ගිය දාට අඬ දඹර බොහෝයා
පැදුර දුන් කෙනෙකු මගේ නෑ සියෝයා

(c) Shilpa Sayura Foundation 2006-2017