16 වන පිටුව
 

කල් වසත් වපුල ගොවිතැන් කුඹුරු රැසේ
පුල් පවන් සිලිල ඈ ලැබ සතර මසේ
දුල් කරල්බරව රන්දම් ලෙසිනි යසේ
යල් ගොයම් පැසෙයි කදිමට නිකිණි මසේ


කල්බලා නොවෙද ගොවිතැන් කරන්නේ
මල්වරා නොවෙද කිරි වැද පැසෙන්නේ
සෙනසුරා නොවෙයි වැසි පල නොදෙන්නේ
ලොව්තුරා බුදුන් කවදද දකින්නේ


යලේ ඉවර වෙනකල් ගොස්‌ බිනර මසේ
කැලේ කපා ගිනි තියලා හේන් රැසේ
යලේ කලට වැහි එන කල ගොස්‌ නොලසේ
මලේ ඉතින් කුරහන් වපුරන්න රසේ


මගේ හේනම ද ඌරට පෙනෙන්නේ


පස්‌සා ඌරුහන් තළමින් මිරිස්‌ ගලා
පස්‌සා කායමක්‌ හදමින් ලුනු ඇඹුලා
බස්‌සා එමට තලපයකුත් බඩට බලා
පිස්‌සා ඔන්න එනවා අදත් කල බලා


එපිට හේන කිරි වදිනා කුරක්‌කන්
ඌරො~ ඇවිත් වැට මුල කරන සක්‌මන්
ඊට උඩින් උන් අල්ලන මලක්‌කන්
අපොයි මගේ කිරිවදිනා කුරක්‌කන්


සතර පයෙන් අට කුරයෙන් ඇවිදිනවා
මහත බඩට දුටු දේ මොකවත් කනවා
දිගටි හොටෙන් පල්ලං බිඳ හාරනවා
නපුරු සතෙක්‌ හේනට හැමදම එනවා


ඌරා තමයි හේනට එන හොර ඌරා
මෝරා එන කිරි කුරහන් කන සූරා
නෑරා එකම දිනකට ආ හොර ඌරා
පේරාදෙණිය දෙවිඳුට බාරයි ඌරා


වැටි යට උඩින් බැහැගෙන හේනට එනවා
කෙටි වල්ගේ ගහ ගහ කුරහන් කනවා
කිටි කිටි හඩ දිදී මගෙ ඇඟ වෙවුලනවා
පිටියේ දෙවියනේ ඌරා මරවනවා


ඌරු ගෙදර කොල්ලෙක්‌ අද ගොසින් කැලේ
ඌරු බටෙක්‌ දැකලා එතන කල බලේ
ඌරු වෙඩිල්ලක්‌ බාපිලු වෙලන් මුලේ
ඌරු බොටා පන්නා හැරියාලු කැලේ


අහසේ තරු සේම ගොවිතැන් කරන්නේ
පොළොවේ වැලිසේ ම බෝගත් පිරෙන්නේ
මගෙ හේනම ද ඌරට පෙනෙන්නේ
විෂ්ණු සමන් දෙවියෝ ගම රකින්නේ

(c) Shilpa Sayura Foundation 2006-2017