දුක් වැසි වසින්නේ ගණ අස් වඳින්නට
දුක් නැතිවා නොවෙයි හිමියනි නුඹ වෙතට
වෙන් කරලා වචනය නොකියන් මෙමට
වප් මස එන්ට බැරි වැඩපොල නිසාවට
ලොල් ල වඩන අඟනක් නැත නුඹ සරියේ
නිල් වරලස ගවසා මල් දම් පටියේ
කල් පසුවන උපමාවක් නැති සැටියේ
ඉල් මස ඇවිත් පලයෙනි නුඹ එක සැටියේ
මායමකින් බසක් නොකියමි මම නුඹට
කාගෙන් වත් බසක් වෙයි අපහසු වෙන්ට
වෑයමකින් ඕන දර දිය ගෙට ගන්ට
බෝය ගං වතුර බැරි වෙයි ඉල් මස එන්ට
තද දුක් මෙසේ ළඳ මට දුන්නා හරිඳා
අද තෙක් කුසේ ඇවිලෙන ගින්දර හරිඳා
අද එක යහන කෙළ කෙළ ඉන්ට සිප බඳා
උඳුවප් මස ඇවිත් යන්නට වරෙන් ළඳා
එන්නේ නැතිව සිටියෙම් අත දරු ගමනේ
ඉන්නේ ගෙදර මම් විතරක්‌ද හිමියනේ
සිත් කර මගේ සිත නුඹට මයි සෙනේ
එන්නේ මම කෙසෙද උඳුවප් මහ කෝනේ
දවසින් දවස පසුකර කියන උපදෙසා
රහසින් බසක් ඇති නැති කියනවා බසා
මට දැන් වියෝ දුක දුන්නාද වෙහෙසා
ඇවිදින් යන්ට එනවද ළඳ දුරුතු මසා
කන්නේ සැවොම ගොඩ අස්‌වනු කරලායේ
දන්නේ නැද්ද හිමියනි මතුවන සායේ
ඉන්නේ එක තැනක නම් අපි සැනසීයේ
එන්නේ මම දුරුතු මස පසු කරලායේ
නුවන් දෙකෙන් යන කඳුළැලි දුටුවා මා
කියන්නට සිතේ ආදරය ඇති ළමා
එවන්නට දෙයක් නැතුවා නොවෙයි ළමා
නවම් මස ඇවිත් යන්නට වරෙන් ළමා
බසක් පෙර සිටම කීවේ පසු වෙන්ඩ
මොකක් වත් වැඩක් වෙයි අත්පසු වෙන්ඩ
එකක් නැති එකක් බැරි වෙයි දැන ගන්ඩ
නැකැත් නැති නවම් මස ඇතුළත එන්ඩ
සොඳින් දුක් කුසේ ඇත දකින තුරු ළඳා
ළඳුන් පෙර සිටම කීවේ බස් බොරුඳා
ඉතින් දොළොස් මස පසු වෙනවා නිබඳා
මැදින් දිනේ වත් එන්නට බැරිද ළඳා
![](/sayura/images/logo2.png)