දහවන පිටුව
 

පිනට සිත ගියා ගමනට පිටත් වූණා
පින්කර ලැබූ දරු සම්පත් උදා වුණා
තුන් සිත පැහැද පුද පූජා මල් සැදුණා
තිස්‌සමහවෙහෙර වැඳ සිත සතුටු වුණා


කනාසේම තුප්පොට්‌ටිය ඉණේ ඇතී
මඩුවල සේ උරමාලය ඉසේ ඇතී
හීන් තඹල කොකු වේවැල අතේ ඇතී
මුතුබණ්‌ඩාර රන්දෙණියේ වෙලේ ඇතී


ගංගාවල ඇවිදින්නේ ආරච්චී
හැම දා කියයි වැල වරකාවල විච්චී
එදා දෙන්ට වැල වරකා නැති වෙච්චී
ඇඩුවා කියන්නත් තාපේ ආරච්චී


තිස්‌තුන් දෙනෙක්‌ බැසලා මාවතට අපී
නොඳුටු ස්‌ථාන වැඳ වැඳ යන්ට අපී
සතර වරම් සැම දෙවියෝ පිහිට වෙතී
කතරගමට බැසලා පඬුරු දෙමු අපී


පාළු රටයි වන්නිය ඔතනින් එපිට
හෝළු ගෙන පනිති වැලහින්නන් ඇඟට
සේරු ඇවිත් දිය මතුපිට එක රුවට
යාළු නුඹත් එනවද හොරබොර යන්ට


බරක්‌ ඇති ලෙසට පල ගති කඳ අස්‌සේ
පොරක්‌ ඇති ලෙසට උන් කල පොර දස්‌සේ
තොරක්‌ නැති ලෙසට කඳු ලෑලි පිට හොස්‌සේ
හරක්‌ වත් නොකති කොස්‌ ගෙඩි වෙල්ලස්‌සේ


මස්‌ නිසා කැලේ ඇවිදින දිවි දේනූ
ඇස්‌ වසා සතුන් අල්ලා කති පේනූ
බස්‌ නිසා පරුස නොකියන් මට පේනූ
කොස්‌ නිසා අඬති ෂියා ගල ගෑනූ


අටිය වඩන අටු ගොඩ කුරු වරකාවා
තැටිය බරින් පල ගත්තේ පලදාවා
කටුවට එන බඹරිඳුගේ ගෝසාවා
කටුවත් රසයි අටුගොඩ කුරු වරකාවා


අලුත් මුල්ල බිබිලේ කොහු කුඹුර මැදින්
අයිවෙල වැඳිපිටිය කර නැම්ම වෙල් මැදින්
ඊතණවත්ත කොටගම මල්ලැව මැදින්
රුව ඇති කෙනෙක්‌ යයි කිව් බිම්තැන්න මැදින්


උතුරෙන් බිරම් ඇල්ලූවයි මර ගලට
කතුරෙන් කපන සේමයි බිරම් සූළඟට
යතුරු ලාපු ගල් දොරවල් ඇරුණාට
මිතුරු නාථ දෙවි බැසපන් මරගලට

(c) Shilpa Sayura Foundation 2006-2017