මෙලෙස උගන්නා ගම් දරුවන්හට
කොඳට නුවණ ගෙන වැඩේය ඉන්නට
නිවට නොවෙති උන් ගිය යම් රටකට
පූජිත වෙති දස දිගෙන්ම හැමවිට
අසවල් තැන අසවලුගේ දරුවා
අකුරු උගන්නා යස කීකරුවා
කියමින් ලොව සත පූජිත කෙරුවා
එමවිට නරවරු ඔහු පිරි වැරුවා
කෝල නොවී ඇවිදින් ගුරු ළඟටා
බාල කාලෙදීත් උගත් අකුරටා
සීල බලෙන් පින් ලැබුණ විලසටා
මාල ලැබෙයි නරනිඳුගෙන් ඔහුටා
දහසක් දෙන සිටිනා සබ මැද්දේ
අකුරු උගත් අය ම යි පරසිද්දේ
අකුරු නොදත් අය ගොන් වැනි බැද්දේ
උගත මනා දෙය දෙය ම යි තම ලද්දේ
අකුරු නොගත් අය නෙරවා තම ඇස
බැලූ කල නොපෙනෙයි ඇති දෙය තතු ලෙස
අකුරු උගත් අය අඩකොට තම ඇස
බැලූ කල පෙනේය සියල්ල ඇති ලෙස
වීරිය කර එක් ජම්මෙක සිප් සත
උගතොත් පුහුණු යි සීයක් ජාති සත
තමලත් දන රැස නසින කොට ම නැත
එලෙසම නැති නොවතෙයි තම දත් සත
අකුරු කීම බැරිමුත් යම් කෙනෙකුට
නිතර කීවොතින් පුළුවනි ඕහට
නිතර ගලක් ඇවිදීමෙන් පෙනුමට
පාර වැටෙයි දැන කියන්න හැමවිට
මී මැස්‌සා තම මීය බඳින විට
ටික ටික රොන් ගෙන බඳියි මහත් කොට
එමෙන් තමන් නැණ නුවණේ පමණට
උගනිවු කිව්වේ පෙරැදුරු නියමෙට
කෝල නොවී ඇවිදින් ගුරුවර හට
බාල කාලේදීත් උගත්තු අකුරට
සීල බලෙන් පින් ලැබුණා විලසට
මාල ලැබෙයි නරනිරිඳුන්ගෙන් ඕහට.
ඇස ලග අංජන කියන කුලාවේ
මදව ටිකක් එහි ගත්තත් හිඟවේ
දත් සත පාඩම් නොකිවොත් එමවේ
එදැන කියන් පාඩම් නැණ වැඩිවේ
අලස කමින් පාඩම් නොකියන්නේ
අයගෙ අකුරු කීමෙහි නොපසන්නේ
අවපස අඩු වී යන සඳ වන්නේ
අඩුවෙයි දින දින පාඩම් උන්නේ