අලගියවන්න මුකවෙටිතුමා
 

ඒ පිය පුතු දෙදෙනෙකුට සීමා වු රාජ්‍යයක්‌ විය. ඒ පියපුතු දෙදෙනෙකුට සීමා වු යුගයක්‌ ද විය. ඒ රාජ්‍යය නම් සීතාවක රාජ්‍යයයි. ඒ සාහිත්‍යය යුගය නම් සීතාවක යුගයයි. ඒ රාජ්‍යයයේ රජ කළ රජවරුන් දෙදෙනා නම් මායාදුන්නේ රජු හා ඔහු පුත් පළමුවන රාජසිංහයි. ඒ සාහිත්‍යය ධරයන් දෙදෙනා නම් ධර්මධවජ හා අලගියවන්න මුකවෙටිතුමාය.


සීතාවක යුගය මෙරට පරිහානියට පත්වෙමින් තිබූ යුගයක්‌ විය. නොසන්සුන්තා බහුල යුගයක්‌ විය. පළමුවන රාජසිංහයන් ශිවාගම වැළඳ ගැනීමෙන් අනතුරුව බෞද්ධ වෙහෙර විහාර විනාශ කළ යුගයක්‌ විය. බෞද්ධ පොතපත ගිණි තැබු යුගයක්‌ විය. පොත්පත් ලියනවා තබා ලඟ තබාගැනීමත් දඬුවම් ලැබිය හැකි වරදක්‌ විය. භාෂා සාහිත්‍යයට අදුරු කල දශාවක්‌ ලැබූ අවධියක අලගියවන්නයන් සිංහල සාහිත්‍යයට කළ මෙහෙය අතිශයින් අගය කළ යුතු වේ. අලගියවන්නයන්ගේ ගම වත්මන් ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ සිය නෑ කෝරළයේ වෑකේ උපදිසාපති කොට්‌ඨාශයට අයත් හිස්‌ වැල්ලයි. ඒ බවට සුභාෂිතයේ එන මේ කව සාක්‌ෂි දරයි.


"විජම් පෙළ සයුර සැදි මොක්‌ වෙරළතින
සියුම් නිය තලෙන් ගත් කුඹු යොන් සරින
උතුම් හිස්‌ වැල්ල නම් ගම හිමි සොබන
දහම් දජ නැමැති පඬිවරනට නදන"


අලගියවන්නයන් කළ සාහිත්‍ය කෘති අතර සුභාෂිතය සුවිශේෂයෙන් සඳහන් කළ යුත්තකි. එය උපදේශ කාව්‍යයකි. අපේ පැරැණි පොත්පත් වල උපදේශ බහුල වුවද හුදෙක්‌ම උපදේශ වලටම සීමා වු සාහිත්‍යය කෘති ඇත්තේ තුනක්‌ පනණි. කෝට්‌ටේ යුගයේදී වීදාගම හිමියන් විසින් ලියනු ලැබූ "ලෝ වැඩ සඟරාව" ඉන් පළමුවැන්නයි. දෙවැන්න සුභාෂිතයයි. තෙවැන්න රණස්‌ගල්ලේ හිමියන්ගේ ලෝකෝපකාරයයි.


 

(c) Shilpa Sayura Foundation 2006-2017