වරක් කියූ විට ඉබේටම හිතට කාවදින, අදහස පමණක් නොව කව්ද කර පාඩම් හිටින "ලෝවැඩසඟරාව" නම් උපදේශ කාව්‍යය තුළින් සිංහලයට "උපදේශ කාව්‍යය" නම් කාව්‍ය විශේෂය හාහාපුරා කියා එක් කරණු ලැබුවේ එතුමාය. රුවන්සුතුර ලක්‌ෂවාරයක් පුරවා පිරික්‌සා පින්දී සිත සතුටු කොට සතුරු උවදුරු දුරුකර පැරැකුම් රජුට ආසිරිපතන් කෑරගල වන රතන මාහිමියන් වෙත හංසයකු අත සංදේශයක් යවනු ලැබුවේ එතුමාය.
මතු පිටින් අනෙක් අරුතක් දෙමින් ඇතුළතින් බුදු දහමේ ඉගැන්වෙන සත්‍යවුත් තථ්‍යවුත් දහම් කරුණක් පිළිබඳව කරුණු දක්‌වමින් ගැටමුසු අයුරින් ප්‍රහෙලිකා ස්‌වරුපයෙන්, තේරවිලි කවි ආරෙන් දහම් ගැට මාලය රචනාකරණ ලද්දේ එතුමාය. කවින්ගේ දැනුම දියුණු කිරීම වස් ගණ, අකුරු, නැකත් දෙවියන් නිර්දය ලෙස විවේචනය කරමින් තීර්තකයන්ගේ, බමුණන්ගේ මිත්‍යාමත බිඳ හෙලමින් බුදු ගුණ අලංකාරය තුළින් දිවා රෑ බුදු ගුණ කියනු ලැබුවේ එතුමාය.
සිරිසඟබෝ රජුගේ හිස දන්දීමේ පුවත රැගත් එළු අත්තනගලු වංශය තමා විසින් කථිකව (කියවන ලදුව) සිය ශිෂ්‍ය භික්‌ෂුවක ලවා ලියවන ලද්දේ එතුමාය. හේ අනෙකකු නොව වීදාගම මෛත්‍රීය හිමියන්ය. වීදාගම විහාරවාසි ශ්‍රී ඝනානන්ද පිරිවෙන් පති මහා නේත්‍ර ප්‍රසාද මුල මෛත්‍රිය කවිකාර මා හිමියන් වහන්සේ.
ලංකා ඉතිහාසයේ වීදාගම ස්‌වාමීන්වහන්සේලා දෙදෙනෙකු ගැන සඳහන්ව ඇත. කෝට්‌ටේ 5 වැනි පැරැකුම්බා රජු කුඩා කළ අකුරු කරවා රැක දුන් වීදාගම මා හිමියන් ඉන් පළමු වැන්නාය. එහෙත් එතුමා ගත්කතුවරයකු නොවේ. ඉහත කෘතීන් කරන ලද වීදාගම මහා මෛත්‍රිය මා හිමියන් දෙවැන්නාය. එතුමා කවිකාර වීදාගම හිමි ලෙසද හදුන්වනු ලබති. අපි මෙතැන් සිට එතුමාගේ සාහිත්‍යය සේවය අගයමු.
ලොවට වැඩ සඳහාම ලියන ලද "ලෝ වැඩ සඟරාව" අතිශයින් ජනාදරයට පත් කෘතියකි එහි කතුවරයා වීදාගම මෙත් මහ කිවිදුන් බව පොතේ අවසානයට එන පද්‍යයේ මෙසේ සඳහන් වේ.
"වීදා ගමවෙහෙරෙහි මෙත් තෙරිදු සඳ
සදාරණව පැවසූ මෙත් සිතින් නඳ
බදා නැතිව මොක් දැකුමට බැදි මෙපද
පාදා සිතින් සිත පවතීවා නිබඳ"
..................සාදු ගුණ පිරි සමාජයක් උදාකරණු වස්...
"සෙත් සිරි දෙන මහ ගුණ මුහුදාණන්
සත් හට වන බව දුකට වෙදාණන්
තිත් ගණදුරු දුරලන දිනිදාණන්
සිත් සතොසින් නම දිම් මුනිදාණන්"
යනුවෙන් බුදුන් වඳිමින් අරඹනු ලබන ලෝ වැඩ සඟරාවේ එන පද්‍ය 140 ම වෙන්කර ඇත්තේ සාධු ජන සමාජයක් ගොඩ නගනු වස්, ලොවට වැඩදායි සමාජයේ ගොඩ නගනු වස් කටයුතු කළ අයුරු කියා පෑමටය. ලෝ වැඩ සඟරාවේ එන කවි ලෙහෙසියෙන් අවබෝධවන සුළුය. ඒ සඳහා වීදාගම කවිකාර හිමියන් සරල, සුගම, කාටත් තේරෙන උපමාවන් යොදනු ලබයි. බලනු මැනවි.
"ලිප ගිණි මොලවන තෙක් දියා සැලියේ
සැපයක් යයි කකුළුව දිය කෙලියේ
එපවත් තොප සිතතොත් නො හැකිලියේ
සැපයක් නම් නැත කම් සැප කෙළියේ"
කවීන්ට උපදෙස් දෙනු පිණිස වීදාගම මෙත් මා හිමියන් විසින් ලියන ලද කෘතිය "කව්මිණි මල් දමයි" එය පද්‍ය 87 කින් යුක්‌තය. එය වීදාගම මා හිමියන් විසින් ලියන ලද්දක් බව පොතේ මෙසේ සඳහන් වේ.
"නොයෙක් කව් නළු සඳ - ලකර වියරණ වියතුන්
මුදුන සැදූ මහනෙන් - පාමුල මහ තෙරිදු සඳ
මෙලක එකසත් කල - සිරි පැරකුම් නිරිදු හට
පනස් සිව් වස කළ - කව් ලකුණු මිණි මල් නම්"
සිව්පද සිව් සැත්තෑවකින් යුතු දහම් ගැට මාලය හුදෙක් වියතුන්ගේ තර්ක බුද්ධිය පුබුදු කරවනු වස් ලියුවකි. මෙහි එන ඇතුළත අර්ථය බුදු දහමෙහි ගැබ්වුණු අර්ථයකි. පිටතින් දෙනු ලබන්නේ වෙනත් අරුතකි. බලනු මැනවි.
"උදය ගමන් යන්නේ සතර පය කිනි
මැදය ඉර මුදුන ගන්නේ දෙපය කිනි
විදිය සැපත් අවරට ගිය තුන් ප සිනි
සෙඳය මෙපද තේරුවොත් නුවණ කිනි"
උදය යනු බාල වියයි. එහිදී දරුවා දනගානු ලබයි. දනගානු ලබන්නේ අත් දෙක හා දෙපා උපයෝගි කර ගනිමිනි. "උදය ගමන් යන්නේ සතර පයකිනි" යනුවෙන් සඳහන් කළේ එහෙයිනි. ඉන් අනතුරුව දරුවා දෙපයින් සිටගනු ලබයි. දෙපයින් ඇවිදී. මැද ඉර මුදුන යන්නේ දෙපයකිනි, යනුවෙන් සඳහන් කළේ එහෙයිනි. මහළු වූ පසු ඇවිදීමට සැරයටියද අවශ්‍ය වේ. විදය සැපත් අවරට ගියෙ තුන් පයිනි" යනුවෙන් විග්‍රහ කළ අයුරු කෙතරම් අපූරුද" ස්‌වභාවික පරිද්දෙන් තේරවිල්ලක් ලෙස අරුත් සෙවීමට පෙළඹවූ අයුරු
කෙතරම් අගනේද?
හංස සංදේශය හංසයකු දූත මෙහෙවරෙහි යොදවමින් ශ්‍රී ජයවර්ධන පුර සිට කෑරගල වනරතන හිමියන් වෙත යැවෙන්නෙකි. බෞද්ධ දූත කාව්‍යයක් ලෙස බොහෝ විචාරකයන් විසින් හදුන්වාදෙනු ලැබූ හංස සංදේශයේ එන වර්ණනා අතර දිය කෙළි ස්‌වභාව සෞන්දර්&ය වර්ණනා අතිශය සාහිත්‍යමය අගයෙන් යුතු වර්ණනාවන් ලෙස හදුන්වා දිය හැකිය.
"මිනිසෙක් දිය පීනා යෙයි එතෙරට
අඟනක් දිය පීනා එයි මෙතෙරට
පහරක් දුත සරණින් ඔහු සිරසරට
අනිකක් ඇඬුවා එසඳෙහි දුරසිට"
මිනිසෙකු මෙතෙර සිට එතෙරට දිය පීනා එන අතර ගැහැණියකද එතෙර සිට මෙතෙරට දිය පීනා එයි. ගඟ මැද දී දෙදෙන මුන ගැසුනෙන් ඇය ඔහුගේ හිසට පහරක් දුන්නාය. එසඳෙහි ඇඬුවේ ඈත සිටි වෙනත් ස්‌ත්‍රීයකි. මේ හැඬුවේ ඔහුගේ ආදරවන්තිය විය නොහැකිද?
10-11 ශ්‍රේණි සඳහා වු සාහිත්‍ය සංග්‍රහයට හංස සංදේශයෙන් ගත් කෑරගල වෙහෙර වැනුමට ඔබේ අවධානය යොමු කරවනු කැමැත්තෙමි. ශබ්ද රසයද අර්ථරසයද සංකලනය කරමින් වනලැහැබ් පළබර පිරි ගෙවතු කදු රැළි මතින් ඇදහැලෙන ජල ධාරාද වර්ණය කරමින් කෑරගල වැනුමට අවතීර්ණ වන්නේ මෙසේය.
"සාර පලය අඹ දඹ රඹද වල් පිට
මීර ජලය ඇළ දොළ කදු පිටින් බට
නෑර ලොලය වඩවන දුටු දනන් තුට
කෑරගලය වැජඹෙයි මේ ලෙසින් සිට"
මේ හංසකරු කෑරගල පද්මාවතී පිරිවෙන අසල අවට ගැමි පරිසරය දුටු අයුරුය. අපූරුය. බලනු මැනවි. මේ වචන වාග් චිත්‍රය දෙස හිරු රස්‌මියෙන් දිලෙන පැසන සුවදල් කුඹුරු, ලියැදිවල ඉපනැලි මත දුව පනින ළමා වසු පැටියන් මේ සොදුරු පින් බිමේ තිබෙන වෙහෙර රසේ අමාරසයක්‌ම නොවන්නේද? වන්නේමය. තපෝවනයක් වු කෑරගල පින්බිමේ හැර මෙවන් දර්ශණ දැකිය හැක්‌කේ අන් කවර තැනකද?
"පැසෙයි නිබඳ සුවදැල් කෙත්වතු අවට
ඇසෙයි ළමා වසු පැටියන් හඬ දුරට
දිසෙයි වෙහෙර එහි සුර විමනක් ලෙසට
රසෙයි අමා රසමය ඒ පියස දුට"
වීදාගම මෙත් මාහිමියන්ගේ අවසන් සාහිත්‍යකෘතිය සිත් සේ කවියෙන් බුදු ගුණ වැයූ බුදු ගුණ අලංකාරයයි. "...." කියනුම දිවා රැය - කියන් බුදු ගුණ අලංකාරය ආරම්භක පද්‍යයෙන්ම එය පැහැදිලි වේ. කවි (පද්‍ය) 560 කින් යුතු බුදු ගුණ අලංකාරයේ බස මට සිලිටිය. එහෙයින් උගත් නූගත් කාටත් පහසුවෙන් තේරුම් ගත හැකිය. මේ සඳහා වස්‌තු විෂය කර ගත්තේ විශාලා මහනුවර වු තුන් බිය පහ කිරීම් වස් බුදු රදුන් වැඩ රුවන් සුතුර දෙසූ පුවතයි. එහිදී එතුමා බමුණු මත හෙළා දකියි. තීර්තකයන් දෙවියන් ඇදහීමේ නිරාර්ථක බව කියාපායි. ගිණි දෙවියන් පිදීමේ නිරාර්ථක බව සියුම් උපහාසයට ලක් කරමින් කියා පෑ අයුරුයි මේ.
"ගිණි දෙවියා කැමැති
ගෙයි ගෙයි තබා කර රුති
නොනිවා රකින නිති
මෙලොව ගැහුණුද දැනුදු ලෙඩවෙති"