ඈ වැත්තේ...........මේ වැත්තේ නැව් නගීද?
මෙහෙම වෑත්තෑවේ හිමියන්ගෙන් ඇසුවේ සිය ගුරුහිමිපාණන් වු තොටගමුවේ සිරි රහල් හිමියන්ලු. ඇයු එහෙම ඇසුවේ? ගුත්තිලය පටන් ගන්නේ.......
"සියපින් සරින් සරු
දෙතිස් ලකුණින් විසිතුරු
කෙළෙසුන් කෙරෙන් දුරු
වදිමි මුනි උතුමන් තිලෝ ගැරු".....යන පදයෙනි.
පැරැණි සිංහල කවීන් කවි හැදුවේ "ගණ" පිහිටුවමිණි. මෙම ආරම්භක පද්‍යයේ එන "සියපින්" යන්නෙහි ඇත්තේ 'ස' ගණයයි. එය වායුගණයට අයත්ය. වායුවෙන් (සුළඟින්) කරන්නේ ඈතට ගසාගෙන යාමයි. ඒ නිසා වායු ගණය මුල්කොටගෙන සිය කෘතිය පටන්ගත හොත් එම කාව්‍යය කර්තෘද ඈතට ගසාගෙන යනු ඇත. යන්න එකල පැවැති විශ්වාසයයි. එහෙයිනි වෑත්තෑවේ හිමියන්ගෙන් ඈ වෑත්තේ මේ වෑත්තේ නැව් නගීද? (මේ අවස්‌ථාවේ වෑත්තෑවෙ} විදේශගත වෙයිද?) යනුවෙන් අසනුයේ.
කිසියම් හේතුවක් නිසා වෑත්තෑවේ හිමියන් සිය ගුරු හිමියන් වු රාහුල හිමියන් සමඟ අමනාපවීලු. එහෙයින් රට හැරයෑමට අදහස් කළාලු. ගුත්තිලය වායු ගණයෙන් පටන්ගත්තේ එහෙයින්ලු. මේ අතර වෑත්තෑවේ හිමියන් ගුරු ද්‍රෝහියෙකු ලෙස කටයුතු කරතැයි ගුරු හිමියන් සිතුවේලු. එහෙත් කිසිදු විටෙක තමා එවැන්නෙක් නොවන බව පෙන්වීමට වෑත්තෑවේ හිමියන්ට අවශ්‍යවීලු සිය කාව්‍යය සඳහා ගුරු ද්‍රෝහිවීමේ විපාක කියාපාන "ගුත්තිල ජාතකය" තෝරාගනු ලැබුවේ එහෙයින්ලු.......මේ සියලු කරුණු ජනශ්‍රැතියේ එන කරුණු වේ.
ගුත්තිලය ලියූ වෑත්තෑවේ හිමියන් විසුවේ කෝට්‌ටේ යුගයේය. එහෙත් වෑත්තෑවේ හිමියන් පිළිබඳ කිසිදු සටහනක්, සඳහනක් ගුත්තිලයේ නොඑයි. එහෙත් ගුත්තිලය ලියුවේ වෑත්තෑවේ හිමියන් බව ප්‍රසිද්ධය. එය අවිවාදයෙන් පිළිගනු ලබයි.
වෑත්තෑවේ හිමියන් පිළිබඳ තොරතුරු නොදත හැකි බැවින් උන්වහන්සේ කෙබදු අයෙකුදැයි සෙවීමට ගුත්තිලයම වහල් කොටගත යුතුය. පැසී නැමි කරලින් බර වු ගොයම් ගසක් මෙන් වු නිහතමානිත්වය. සිත කය උතුරා යන තරම් බුද්ධ භක්‌තිය, හංසයකු කිරෙන් දියර වෙන්කරලන්නාක් මෙන් තෝරා බේරා නිර්මල ආශ්වාදයක් ලැබූ රුචිකත්වය, බුදුන් ඉදිරියට නාලාගිරි ඇතා එවූ දෙව්දතුන්ට පවා කරුණාවෙන් තෙත්ව ගිය ළය, උචිතානුචිත විවේක බුද්ධිය, අවුල් නිරවුල් කිරීමේ හුරුබුහුටි කම, කියාපාන අයුරු දැන ගැනීමට
ගුත්තිලය වෙතට යොමුවිය යුතුය. එහෙයින් ඒ සඳහා මෙය අවස්‌ථාව කර ගනිමු.
"පෙර මහ කවි වරණ
පැවසූ තිලෝගුරු බණ
මා මගෙ නැණ පමණ
කිමැයි වරදක් වේද කිකරුණ
පරසතු මලින් පුද
ලත් මුණි සදුට දිය නද
වන පස මලින් පුද
කළැයි පවසනු කවර වරදද"
අනේක විධ පෞරාණික මහා ප්‍රඥායන් විසින් කියන ලද, මහා කිවිවරුන් විසින් කවියට නැගු බුදුබණ මා වැනි අල්පඥයකු විසින් නැණ පමණින් කීම කවර නම් වරදක්‌ද? පරසතු මලින් පුදනු ලබන බුදුරදුන් වන පස මලින් පිදීම කවර නම් වරදක්‌ද? කවියාගේ අපේක්‌ෂාවත් ලෙහි ගැන් වු නිහතමානීත්වයත් මෙයින් හඟවනු ලබයි. දිනක් දම් සභාවට රැස් වු භික්‌ෂුන් බුදුරදුන් ගේ ගුණබද තෙපුල් තෙපලන සඳ දෙව්දතුන්ගේ නුගුණද කියනු ලබයි. භික්‌ෂුන් කියන ලදැයි දැක්‌විය හැකි එකද පද්‍යයක්‌වත් පද්‍යාවලිය තුළ දැකිය නොහැක්‌කේමය. එම පද්‍යාවලිය අවසන් කරණුයේ.....
"ඉඳ ඉඳ එක වෙහෙර
විඳ විඳ දහම් මනහර
සිඳ බිඳ දුක් සසර
අනේ දෙව්දත් නුදුටු මොක්‌පුර".....යනුවෙන් හඳ දැවෙන දැඩි අනුකම්පාවෙනි.
ගුත්තිලයේ එන සැණකෙළි වැනුම රමනීය වර්ණයක්‌ම වේ. මේ වර්ණය පිළිබඳ මාර්ටින් වික්‍රමසිංහ ශුරිහු මෙසේ ප්‍රකාශ කරති.....
"රැගත් සුරා පිරු විතින්
සුරත් තඹරු පෙති සෙනෙතින්
පුවත් නොදැන බමන ගතින්
නටත් අයෙක් සුරා මතින්"
සැණකෙළි වරුණෙන්ගත් මේ පද්‍ය කියවන සහෘදයාගේ මනැසට කෙළි ලොලින් සුරා බිබී රතැස් හා ගතද බමවමින් නටන්නෙක්‌ද ඔහු ඉදිරියෙහි වු සුරා මණ්‌ඩපය ද පෙනෙති. මෙහි වර්ණයන්ගේත් ශබ්දයන්ගේත් අපූර්ව සංඝටනාම නිසා නැටුම් තාලය අනුව වැයෙන "දොන් ජින් ජින් තකට දොදොන් යන බෙරහඬද සහෘදයාගේ කන්හි වැකෙයි. මේ බෙර හඬ නැගෙන්නේ වර්ණයන්ගේත් ශබ්දයන්ගේත් අපූර්ව සංඝටනාවෙනි.
වෙළදුන්ගෙන් ගුත්තිල ඇදුරිදු ගැන තොරතුරු ඇසූ මූසිල වෙළදුන් සමඟම බරණැස නුවරට ගොස් ගුත්තිල ඇදුරුතුමන්ගේ නිවසට පිවිසේ. පැමිණ සැතපී හිඳ බෝසතුන්ගේ වීනාව රැගෙන වැයීමට පටන් ගනී. ඒ ඇසූ.......
"අඳ මවු පිය දෙදෙන
ඔහු වයන බව නොමදැන
කතී වෙණ මීයෙන
සූසූයයි අත ගැසූ සැකයෙන"
ගුත්තිල ඇදුරිදුන්ගේ වීනා නාදය කෞශල්‍යයත් මූසිලගේ ආධුනිකත්වයත් වක්‍රවෝත්තියෙන් කියූ අයුරු කෙතරම් අපූරුද? ගුත්තිල මූසිල තරඟයේ දී ගුත්තිල පඬිදුන් තත් සිඳිත්ම සිය සිය ගුණයෙන් වෙණ නද නික්‌මෙන්නට විය. එය කෙතරම් වසීකරවන තත්වයක්‌ද?
"මන මත් කරවන දන මුළු දෙරණා
රසවත් වන වෙණ නද නද කරණා
සවනොත් සඳ පුරඟන ලෙබ දිවුණා
නොදනිත් දරුවන් ඇකයෙන් වැටුණා"
එයින් වසී වූයේ මිනිසුන් පමණක්‌ද? නැත. සතුන් පවා වසී කරවන සුළු විය.
"පන් සිළු වීණා නද පසු බැස්‌වූ
මන් පින වන වෙණ නදයෙන් තොස්‌වු
නන්දන කැන් දුටුවද බිය සිස්‌වු
මින් රළ වුත් ගං වෙරළට රැස්‌වු"
වීණා වාදනයෙන් වසී වූයේ මිනිසුන් පමණක්‌ද? නැත. සතුන් පමණක්‌ද? නැත. දෙව්වරුන්ද වසී විය. මේ අතරය ගුත්තිල පඬිදුන්ට සක් දෙවිදුන් දුන් ගුලි අහසට දමනුයේ, එවිට සුරඟනන් නවසියයක් අහසින් බැස අවුත් නැටුමට පටන් ගති. මෙහිලා පද්‍ය සතරකින් පසළොස්‌මත් විරිතින් කරන ලද සුරඟන රැඟුම අවස්‌ථාවටද එයින් ජනිතවන රසයටද අතිශයින්ම උචිත අයුරින් රචිතය. සුරඟනන්ගේ රැඟුමද එහි ලය හා තාලයද, ඔවුන්ගේ රූ සපුවද පළන් ආභරණවල සෞන්දර්&යද මෙ කෙටි වර්ණය තුළට ගැබ් කළ අයුරු කෙතරම් අපූරුද? චමත්කාර ජනකද? බලනු මැනවි......
"රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙල දිදී විදුලිය පබා
රන් රසේ එක්‌වන ලෙසේ වෙණ නාදනු පා තබ තබා
කම් පසේ දෙන සැර ලෙසේ දෙස බල බලා නෙතඟින් සබා
මම් කෙසේ පවසම් එසේ වර සුර ලදුන් දුන් රඟ සුබා"
10-11 ශ්‍රේණි සඳහා වු සාහිත්‍ය සංග්‍රහයේ එන වෙණ මිහිර නම් වු පද්‍ය පංතිය වෙත ඔබේ අවධානය යොමු කරවනු කැමැත්තෙමි.
ගුත්තිලය කළ කිවිදු පද්‍ය 511 කින් යුත් තන රචනය අප ඉදිරියේ තබා තමා කවුදැයි සඳහන් නොකළද අපි ඔහු කවුදැයි ගුත්තිලය තුළින්ම හදුනා ගතිමු. ඔබ නිහතමානිත්වයෙන්යුතුව තමන්ගේ අල්පත්වයම කියා පාමින් අපිරිමිත බුද්ධ භක්‌තියෙන් බුදු ගුණ ගැයූ කවියෙකි. කරුණාවෙන් තෙත් වූ ලැයැති උචිතානුචිත විවේක බුද්ධියෙන් යුතු කවියෙකි. මාර්ටින් වික්‍රමසිංහයන් කියාපාන්නක් මෙන් ගසක අත්තක හිඳහත් කුරවියකුගේ කටින් ගිලිහුණු ගීතාවලියක් මෙන් රැසැති ගීතාවලියක් සිංහලයට දායාදකළ අග්‍රගන්‍ය කවියෙකි.
ගුරු හිමියන් කියූ අයුරින්ම වෑත්තෑවේ හිමියන් දඹදිව වන්දනාවේ ගියේලු. එම සංචාරයේදී වෑත්තෑවේ හිමි සහ ඇබිත්තයා මහත් අකරතැබ්බයකට මුහුණ පෑවේලු. ඒ ඔවුන් යම්කිසි සිද්ධියක් හේතු කොට ගෙන සීතල කාමරයක සිරකර තැබීමයි. වෑත්තෑවේ හිමි ඊට උපායක් යෙදුවේය. ඒ සිවුරු ගලවා පසෙකින් තබා අඳනය ඇද ඇබිත්තයා සමඟ පොර බැඳීමයි. දෙදෙනාම සීතලෙන් මිය ගොස් ඇතැයි සිතා උදෑසන පැමිණි සේවකයෝ දොරහැර බැලූහ. දෙදෙනාම දහදිය පෙරමින් සිනහවෙමින් සිටිනු දුටු ඔවුහු දෙදෙනාම එළියට
දැමූහ. චාරිකාව නිමවා පැමිණි වෑත්තෑවේ හිමි උපැවිදි විය. උපැවිදිවීමෙන් පසු වෑත්තෑවේ අප්පුහාමි නමින් යහපත් ගිහි ජීවිතයක් ගත කළාලු.