තොටගමුවේ ශ්‍රී රාහුල හිමි
 

"මා වැනි බිළින්දා
වර වර ලඟට කැන්දා
දුක්‌ සැප කුමන්දා
අසන නිරිදෝ වෙන කොයින්දා"


මේ නම් සුලභ සිදුවීමක්‌ නොවේ. අතිශය දුර්ලභ සිදුවීමකි. අහම්බ සිද්ධියකි.....පුදුමයකි. පුදුමයෙනුත් පුදුමයකි. මන්ද? රටේ රජතුමා මින්පෙර කිසිදු සම්බන්ධයක්‌ නැති අහිංසක ළදරුවෙකු ළඟට කැඳවා සැපදුක්‌ විමසූ හෙයිනි. "මාවැනි බිළිදු දරුවකු ලඟට කැඳවා සැප දුක්‌ විමසන රජෙකු සිටී නම් ඒ ඔබ තුමා පමණී"...යනුවෙන් ඒ දරු සිඟිත්තා පවසනුයේ එහෙයිනි.


ඒ බොළඳ, සුරතල් වදන් වැලට කටේ කිරි සුවඳ ද මුසු කරමින් මෙසේ කවියෙන් පැවසුවේ අනෙකකු නම් නොවේ. අනාගත මහාකිවිවරයෙකු වු තොටගමුවේ සිරි රහල් හිමිය. අනාගත තොටගමුවේ මහ පිරිවෙන් පති වු රාජගුරු තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමිපාණන් වහන්සේය. අනාගතයේ අග්‍රගන්‍ය මහා පඬිවරයෙකු වු ෂඩ්භාෂා පරමේශ්වර උතුරු මුල මහ තෙරිදු මුනුබුරු තොටගමුවේ ශ්‍රී රාහුල මහා පඬිවරයාණෝය. කීමෙහි බිණීමෙහි ධර්මදේශනයෙහි හුරුබුහුටි පෑ වාචීස්‌වර සිරි රහල් සංඝ රාජයානන් වහන්සේය.


"හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ" යනු සිංහලයේ එන කියමනකි. හෙළ වහරේ එන ප්‍රස්‌ථාව පිරුළකි. මෙවන් කියමන් මෙවන් ප්‍රස්‌ථාව පිරුළු හෙළ වහරට එක්‌ වූයේ මහ කිවි, මහ පිරිවෙන් පති, රාජගුරු සිරිරහල් හිමියන් වැන්නන් හැඳින්වීමට හැර අන්කවරෙකු හැඳින්වීමටද? එතුමා දැන සිටියේ එක්‌ භාෂාවක්‌ පමණක්‌ද? නැත. භාෂා සයක්‌ම පරතෙරට දැන සිටියේය. ෂඩ්භාෂා පරමේශ්වර යන උපාධිනාමයෙන් එතුමා පිදුම් ලැබුවේ එහෙයිනි.


මේ සිඟිති දරුවා නිසි වයසට පත්ව සසුන් ගත විය. හිරිමල් විය සිනාසුනා පමණී. මෙතුමෝ ව්‍යකරණයට බටහ. කෝට්‌ටේ යුගයේ පළමු සංදේශය ලෙස ගැනෙන පරෙවි සංදේශය ලිව්වේය. ඒ බව පරෙවි සංදේශයේ එන...


"කඳවවුරුකුල උපන් රැදි තොටගමු පියස
සෙද දත් සියල් කව් නළු මගද සකු බස
කඳ සුරිදුන් වරලද පසළොස්‌ වයස
වඳ හල රහල් වැඩිතැන් කළ රැව් සඳෙස"


මේ පදයෙන් ඒ බව පැහැදිලි වේ,


තාරුණ්‍ය හැඟීම් පුබුදු කරයි. එහෙයින්දෝ සිය තරුණ වියේදී ලියවුණු පරවි සංදේශය ද ශෘංගාරයට බෙහෙවින් බරය. මේ ඊට නිදසුනකි.


"රත් සර කැකුළකට තුඩු දී හසෙක්‌ මොළ
සිත් සහතොසින් සෙද විදහා පුබුදු කළ
පත් නූ අනගරස අඟනකට කැර ලොළ
මත් සළලකු ගියා වැනි අචල කෙළි කෙළ"


සිංහල සාහිත්‍යයට පළමු මහා කාව්‍ය එක්‌ කළේ දෙවැනි පැරැකුම්බා රජිදුන් විසිනි. ඒ කව්සිළුමිණයි. ඉන් අනතුරුව සිංහලයට දෙවන මහකව එක්‌ කරණු ලැබුවේ තොටගමුවේ සිරි රහල් මා හිමියන්ය. මෙම මහා කාව්‍යය සර්ග 15 කින් යුක්‌තය. කව් 887 කින් සමන්විතය. සත්තු හක්‌ත ජාතකය වස්‌තු කර ගත්තකි. බලන්න සේනක පඬිතුමාගේ බාල කාලය ගැන කියනු ලබන මේ පද්‍ය දෙස.


"දත් කැකුළු පාලා
සුරතල් සිනා පාල
බොළඳ බස්‌ දීලා
කෙලී සියොලග දූලි ගාලා"


බොළඳ කිරිකැටියෙකු පිළිබඳ කියැවෙන මෙවන් සාර්ථක වර්ණයක්‌ පැරැණි සාහිත්‍යයේ තබා නූතන සාහිත්‍යයේ ද දැකීම උගහටය. මේ එකම කව වුවද මෙතුමාගේ කවීත්වය විදහා දැක්‌වීමට ප්‍රමාණවත්ය.
මේ කුමරු අකුරු කරවූ අයුරුය.....ඉගෙනගත් අයුරුය....ශිල්ප හැදෑරූ අයුරුය.


ගුරු සිත නොරිදවා
වේලාව නොවරදවා
බැතිපෙම් උපදවා
අකුරු උගනී කුමරු සොඳවා


මේ සේනක කුමරා ළදරු වියෙන් තරුණ වියට පත් වු අයුරු කියා පෑ සැටිය.


"යොවුන් සිරි සිරි සඳ
දැවටී සිඹින සඳ සෙඳ
වැකි නුවනදුන් බඳ
කොපුල තල ඔහු පෙනිණි දැළිරොද"


තැන බලා යෙදූ උපමාව කෙතරම් අපූරුද? කොපුල තල ඔහු "පෙනිණි දැළි රොද" යැයි කී සැටියෙන් නැගී එන තරුණ වයස පිළිබඳ කියූ අයුරු කෙතරම් අගේද? මේ යුවතිපතීන් දෙදෙන ජීවිතයේ පළමුවරට ඔවුනොවුන් අතිනත ගත් කෙනෙහි ඇති වු හැඟීමය.


"ළඳ බොළඳ එබැමි ණි
රතන දහදිය සෙල වි ණි
හිමි පෙළඹන ගිගිණි
පැමිණි ලොමුදහනුරා සරමිණි"


අවස්‌ථා නිරූපනය කෙතරම් අපූරුද? ස්‌වභාවිකද? තාත්විකද? මෙවැන්නක්‌ ලිවිය හැක්‌කේ සමාජය පිළිබඳව අවබෝධයක්‌ මෙන්ම කවි ලිවීම පිළිබඳ පුරුද්දක්‌ ඇති සිරි රහල් හිමියන්ට හැර අන් කවරෙකුටද?
මහළු බමුණකුට තරුණ දියණියක්‌ පාවාදෙන පුවතක්‌ මෙහි එයි. කල්ගතවන විට ඇය තම වයසට සරිලන තරුණයකු හා හාද වේ. ඒ හාද වු තැන් පටන් ඇය මහළු සැමියා පළවාහැර තරුණයා ගෙන් වා ගැනීමට අවස්‌ථාව සලසාගනී. මේ අවස්‌ථාවේ බැමිණිය හැසිරෙන අයුරු, මහළු සැමියාට ආඩපාලි කියන අයුරු සිරිරහල් හිමියන් දක්‌වන්නේ මෙසේය. අපූරු අවස්‌ථා නිරූපනයකි. චරිත නිරූපනයකි.


"කෙදිරි පරගානී
ඇති සිත ඉඟි නොපනී
පෑ ආනි බානී
කියා එබසට බැමිණි ගැනී


අත් නොසත පායේ
දැරු දුක වහල් මෙහෙයේ
යන රිස්‌ස ආයේ
සොදුර සරණෙක මෙම ආයේ"


සිංහල සංදේශ සාහිත්‍යයේ මුදුන් මල්කඩ ලෙස සැලකෙන උලකුඩය දේවියට පුත් රුවණක්‌ ලබා දෙන්නැයි කැළණියේ විභීෂණ දෙවිදුන් අයදිමින් ලියූ සැළලිහිණි සංදේශයද මෙතුමාගේ කෘතියකි.


"කඳවුරු කුල මැදුරු මිණි පහනෙව් සුසැදි
නැණගුරු සබස සමයද දැනුමෙන් වොරැදි
රජගුරු විජයබා පිරිවෙන් හිමි පැහැදි
මෙමියුරු පදති සැළලිහිණිය අස්‌න යෙදී"


අපි මොහොතකට සැළලිහිණිය දෙසට යොමුවෙමු. මේ සැළලිහිණි සංදේශයෙන් උපුටාගෙන 8 වන ශ්‍රේණියේදී ඔබ හමුවට ගෙන එන "මඟ විසිතුරු" නම් පද්‍ය පංතියෙන් උපුටාගත් එක්‌ පද්‍යයකි.


"සුර රඳ සමන් සමඟින් සුරඟන එවර
පැහැනද මදාරා පරසතු මල් පතර
කර පුද වඳින රැදි මුනි සිරිපා තඹර
සකිසඳ පෙනේ සමනොළගල නැගෙනහිර"


මෙහි පද පිළිවෙල මට සිළිටිය. ශ්‍රැතිය මනහරය. අදහස ස්‌වභාවිකය. වැනුම විසිතුරුය. ශබ්දය කනට මිහිරිය. අර්ථය සිතට රමණීයය. එබැවින් ශබ්දය හා අර්ථය මනාව සුසංයෝගය. මෙවැනි වර්ණනා කළ හැක්‌කේ ප්‍රතිභා ශක්‌තියෙන් යුතු කවියකුට හැර අන් කවරෙකුටද? පද්‍ය 108 කින් යුත් සැළලිහිණියෙන් මෙවන් නිදසුන් කොතෙකුත් සොයාගත හැකිය. එහෙයින් සැබැවින්ම සැළලිහිණිය නම් සුළකලකුරු මියුරු තෙපලක්‌මය.


පාලි ව්‍යාකරණ පොතුත්, සංස්‌කෘත ව්‍යාකරණ පොතුත් තුලනාත්මකව පිරික්‌ෂා මොග්ගල්ලාන පාලි ව්‍යාකරණය සවිස්‌තරව විභාගයට ලක්‌කළ පංචිකා ප්‍රදීපයද, පාළි පද සාධන ව්‍යාකරණයට ලියූ බුද්ධිප්‍රසාදිනීයද, මෙතුමාගේ අනෙකුත් කෘති අතර වේ.


සිරි රහල් හිමියන්ගේ අවසන් කාලය පිළිබඳ ඇති තතු විරලය. සැළලිහිණි සංදේශයන් ඇයද සිටි පරිදිම උලකුඩය දේවි ට ලැබුණු පුත් ජයබාහු කුමරු හයවැනි පැගැකුම් රජගේ ඇවෑමෙන් රජ වුවද ඔහුට රජකම් කිරීමට හැකි වූයේ දෑවුරුද්දක්‌ පමණී. සපුමල් කුමරු ජයබාහු රජු මරා රජ විය. ඉන් ඇති වු සිත් වේදනාව නිසා සිරි රහල් හිමියන් වනගත වු බව ජන ප්‍රවාදයේ එයි. අවසැන එතුමා පස්‌දුන් කොරළේ ඉරුගල් නම් පර්වතයේ ගල් ලෙනක විසූ බව කියැවේ.


මරණාසන්නව සිටියදී මහා බලැති මහෞෂධයක්‌ ගැනීම හේතුකොට ගෙන මෘත ශරීරය දිගුකල් නොදිරණ තත්වයට පත් වු බවත් සඳහන්ය. පසු කලෙක එතුමාගේ සිරුර පෘතුගීසින් අතට පත්ව ගෝවට ගෙන යන බවද ජනප්‍රවාදයේ එයි. කර්තෘ අප්‍රකාශිත නිර්නාමික කවියෙකු එපුවත සටහන් කර තබන්නේ මෙලෙසිනි.

"සතුරු සිංහල සාවියර් සෙන්පතිහු යුද්ධයට පත් වතාවේ
ඉදුරු ගල ගල්ලෙනේ යක්‌සෙන් අරක්‌ ගනිමින් තබූ මනාවේ
අතුරු අවුරුදු දහස්‌ ගණනක්‌ පවතිනුව කළ මතුරු ජීවේ
මහරු රාහුල තෙරිදුගේ මළ සිරුර ගෙන ගොස්‌ තැබිය ගෝවේ"

(c) Shilpa Sayura Foundation 2006-2017