නොවියත් හුදී ජනයන් සඳහා ගුරුළුගෝමීන් විසින් අමාවතුර කළ අයුරු අපි දුටිමු......සුවයෙහි මිහිර දන්නා, දුක්‌හි දැඩි කම් දන්නා, සදෙව් ලොවෙහි සැපත් අන්තයෙන් විදිනා කැමැති අය පසේ බුදු, මහරහතුන් විඳි නිවන් පුර වැද සැනසෙනු කැමැති අයවලුන්ට බුදුන් සරණ හෙවත් බුත්සරණ කළ අයුරු අප දුටිමු.
සිංහල භාෂාව දන්නා සත් පුරුෂ ජනයාට බොහෝ කලක් ශ්‍රද්ධා බුද්ධි ජනනය කරවා ත්‍රිවිධ සම්පත් සඳ දෙනු පිණිස මයුරපාද හිමියන් විසින් පූජාවලිය කරණු අපි දුටිමු. ...නුවණ මදවන් කුසල ඡන්දය ඇතිව බණ දැන පිංකමෙහි හැසිර ධර්මාභියෝගයට උපදෙස් ලදින් බණ දැන පින්කමෙහි හැසිර නිවන් සදාගනිත් නම් එසේ වු සත් පුරුෂයන්ට වැඩ සඳහා ධර්මසේන හිමියන් සද්ධර්මරත්නාවලිය කළ අයුරු අපි දුටුවෙමු.
මේ ආදී වශයෙන් පොළොන්නරු යුගයේදී ගුරුළුගෝමි, විද්‍යාචක්‍රවර්ති වැනි මහ පඬිවරුන් දඹදෙණි යුගයේ දී මයුරපාද ධර්මසේන වැනි මහ තෙරවරුන් ගත් මඟ යමින් සිංහල සාහිත්‍ය වංශයට තවත් මහඟු සාහිත්‍යය කෘතියක් ගම්පොළ යුගයේදී එක් කරුණු අපට දැක ගත හැකිය.
ඒ අනෙකක් නොව ....ලෝ වැඩ පිණිස වදාරණ ලද්දා වු සද්ධර්ම මාගධි භාෂාවෙහි නොහසළ සිංහල ද්විපවාසීනට නොදැනෙන හෙයින් හෙළු බසින් පෙරළා ලංකාදීපවාසී සාධු ජනයන්ගේ සිත් පහදවමින් ලෝ වැඩ සදණු පිණිස ගඩලාදෙනි විහාරයේ වැඩ විසූ දේවරක්‌ෂිත ජයබාහු ද්වීතීය ධර්මකීර්ති සඟරජ මා හිමියන් විසින් ලියන ලද සද්ධර්මලංකාරයයි.
ද්වීතීය ධර්මකීර්ති මා හිමියෝ පළාබත්ගල වනවාසි පරපුරට අයත්ය. එම පරපුරේ භික්‌ෂුන් අතර, සාසනයටත්, සාහිත්‍යයටත් අමිල මෙහෙවරක් කළ භික්‌ෂූන් අතර ද්විතීය ධර්මකීර්ති මා හිමියනට හිමිවනුයේ අන් කවරෙකුටවත් නොදෙවෙනි තැනකි. ධර්මකීර්ති මා හිමියන් වහන්සේ විසින් රචිත අනෙකුන් සාහිත්‍ය කෘති අතර බාලාවතාර සංක්‌ෂිප්ත සන්නයද, ජිනබෝධාවලිය ශාසනාවතාරය යන වැදගත් ශාස්‌ත්‍රීය කෘතිද වේ.
සද්ධර්මාලංකාරය 13 වන සියවසේ ජීවත් වී යැයි සැලකෙන වේදේහ නම් හිමි නමක විසින් පාලි භාෂාවෙන් රචනා කරන ලද රසවාහිනිය නම් වු කථා සංග්‍රහය ඇසුරු කරමින් රචිත ග්‍රන්ථයකි. එහෙත් සියුම් ලෙස පරික්‌ෂාකර බලන විට පෙනී යනුයේ එය හුදෙක් රසවාහිනියට පමණක් සීමා නොවූ බවය. වෙනත් ග්‍රන්ථද අප හිමියන් ඇසුරු කළ බවය.
සද්ධර්මාලංකාරය යන්න සෑදී ඇත්තේ සද්ධර්ම අලංකාරය යන පද දෙක සන්ධිවීමෙනි. අලංකාර යනු සැරසීම ආභරණ යන අරුත දෙයි. ඒ අනුව සද්ධර්මයෙන් අලංකාර කරන ලද සරසන ලද ග්‍රන්ථය සද්ධර්මලංකාරයයි. සද්ධර්මලංකාරයේ පරිච්ඡේද 24 කි. එහි කථා වස්‌තු 150 ක් පමණ ඇතුළත් වේ. ඒ බව....එකසිය පනහක් පමණ වු කථා වස්‌තුවෙන් අලංකාර කොට සරසන ලද සද්ධර්මලංකාරය නම් ධර්ම ව්‍යඛනයක් දක්‌වමි.....යන්නෙන් පැහැදිලි වේ. ව්‍යාඛනය නම් විස්‌තර කථනයයි. ඒ අනුව ධර්මය පිළිබඳ කරන ලද විස්‌තර කථනයක් වශයෙන් සද්ධර්මාලංකාරය හදුන්වා දිය හැකිය. සද්ධර්මාලංකාරය ලියන ලද්දේ ප්‍රියදර්ශි නම් හිමි නමකගේ ආරාධනයෙනි.
සද්ධර්මරතනාවලිකාර ධර්මසේන හිමියන් වැන්නන් දේශීය පරිසරයෙන් පෝෂිත කරණු ලැබූවද සිංහල සාහිත්‍යයට වස්‌තු විෂය වු කථාවන් සියල්ලටම පාහේ පසු බිම් වූයේ දඹදිවය. සද්ධර්මලංකාරයේ ඇති සුවිශේෂත්වය නම් එවක දඹදිව පැවැති කථා වස්‌තුන් ගෙන හැර පාන අතර මෙරට ඓතිහාසික ප්‍රවෘත්ති ඇසුරින් ගොඩනාගා ගත් කථා වස්‌තුන්ටද සිය කෘතිය තුළ ඉඩ කඩ වෙන්කර දීමයි. ඔබට නියමිත 10 ශ්‍රේණිය සිංහල පෙළ පොතේ එන රියහල් වස්‌තුව එවැන්නකි. 11 ශ්‍රේණියට නියමිත ගෝඨයිම්බර වස්‌තුව එවැන්නකි.
"........සද්ධර්මලංකාරයේ සමහර කථාවස්‌තුවල පිළීබිඹු වන්නේ දුර්භික්‌ෂයෙන් හා උණ වසංගතයෙන් පෙළුණු ජනයා බහුල වු අවධියක ලක්‌දිව තතුය. උණ වසංගතයෙන් හා ආහාර වස්‌ත්‍ර දුර්ලභත්වයෙන්ද පීඩාලැබ පිරිහුණු මෙකල වන්නියේ ජනයාගේ ස්‌වරූප දැක්‌වෙන කථා වස්‌තු සද්ධර්මලංකාරයේ හිඟ නොවේ. යනුවෙන් මාර්ටින් වික්‍රමසිංහ ශුරීන් සිය සිංහල සාහිත්‍යය නැගීමේලා සඳහන් කරන්නේ එහෙයින් විය යුතුය.
සද්ධර්මලංකාරයට රසවාහිනිය මුල් වුවද සද්ධර්මලංකාරය හුදෙක් එහි පදානුගත පරිවර්ථනයක් නොවේ. නිදහසේ කරන ලද පරිවර්ථනයකි. ඒ බව.......එකංගිලානං භික්‌ඛු දිස්‌වා...යන රසවාහිනී පාඨය.....එක්‌තරා රෝගයකින් ආතුර වු පඬුවන්ව දුර්වල වු ශරීර ඇතිව ආන ආනා තතනමින් සැතපුනා වු එක් තෙර කෙනෙකුන් වහන්සේ දැක....යන්නෙන් පැහැදිළි වේ.
එකල මධ්‍යකාලීන ගද්‍ය රචනයන්ට ආවේණික වු මිශ්‍ර සිංහල ගද්‍ය ව්‍යවහාරය සද්ධර්මලංකාර කතුවරයෝද, අනුගමනය කරති. මේ ඔබට නියමිත රියහල් වස්‌තුවේ තෙපි දෙදෙන අද පටන් වෙන වෙනම රැකවයි. අපගේ ගෙයි නොරැකවයි ගෙයින් නෙරපු වු විට සුමනාවෝ දුක් වු හැටි කියා පෑ අයුරුයි.
සද්ධර්මලංකාර කර්තෘ ධර්මකීර්ති හිමිපාණන් උපමා හා පිරුළු භාවිතයේදී ද කියා පෑවේ අපූරු හුරු බුහුටි කමකි. සුමනා ගඟින් ගෙනා සැමියා කිසි කර්මාන්තයක් නොකොට බඩ පුරා බත් කා සුවාසේ ගෙට වැදී සිටීම අප හිමියන් දකින්නේ බිජුවට රකින කිකිළියක ලෙසිනි.
රියහල් තිස්‌සයන් ඔරු පදින තුර එතැනට මහළු වෙසක් මවා ගෙන රෙද්දක් කරදමා කුඩ මහල්ලක් ඉසටගෙන නැඹුරුව වක ගසා ගෙන ඇනා සැරයටිය ගස ගසා ඇවිත් ඔරුවට නගින බමුණු මහල්ලා උපමා කරනුයේ නාටක ජනයන් විසුළු පාන්නට ගත් විකට ජරා රූපයකටය.
මේ 11 වන ශ්‍රේණියට නියමිත ගෝඨයිම්බර වස්‌තුවේ ගෝඨයිම්බර හා ජයසේන නම් යක්‌ෂයා වහසි කියන අවස්‌ථාවය. ".......එම්බල කොල දුෂ්ට සොර අශික්‌කිත යක්‌කොල්ල නොපෙනී සිට කුමක් කෙළෙයි නම් මාගේ වම් පයින් ගසා මරා භස්‌මකොට අලු පමණකුත් නොතබමි. එම්බල යක්‌ෂය සැබැවින් තෝ පිරිමියෙක් වී නම් තාගේ පිරිමිකම බලමි. දෘශ්‍යමාන රූපයෙන් මෙසේ පලාවර....
එබස් අසා යක්‌ෂයා මහත් වු අභිමාන උපදවා......ක්‍රෝධයෙන් දිළිහී....මහත් වු ශරීරයක් මවා මහත් වු දරුණු දළ දෙකක් ගිනිගත් යවට දෙකක් මෙන් අති රක්‌ත වු ඇස් දෙකක් බමව බමවා පෙනී සිට එම්බල පැටව මා මෙසේ වහසි කී කල මේ යක්‌ෂයා භයගෙන පලායෙයි සිතා දොඩයිද එසේ එක විටකත් නොසිතා ඒ ඒ තැන අඬ ගසා ඇවිදිනා අඥාන වු කැනහිල්ලු කේශර සිංහයන් පරදවා ජයගත්තුද, කේශර සිංහයන් පරදවා ජයගන්නා කැනහිල්ලු නැත්මය. එපරිද්දෙන් මා හා වාද කොට එය ජයගත්තා වු සත්වයෙක් නැත්මය. මා ජය ගන්නා හෙයින් මා ජයසේන යයි නම් ලත් බව සියල්ලෝම දනිති. බස සංවාද ශීලිය, නාට්‍යචිතය, අතිශයින් අවස්‌ථාවෝචිතය. එසේ නම් තවත් නිදසුන් කුමකටද?