වස්‌තු ලෝභය, ස්‌ථාන ලෝභය, කිත් යසස් ලෝභය, කුමන්ත්‍රණය, කුලපීඩනය, ආදියෙන් පරිපීඩිත වු ජනයාගෙන් යුතු වත්මන් සමාජයට අතිශයින්ම සමාන ඇත්ත ඇති සැටියෙන් කියාපාන එක් සම්භාව්‍ය සාහිත්‍ය කෘතියක් සිංහල සාහිත්‍යයේ එයි. එය අනෙකක් නොව උමංදාව හෙවත් උම්මග්ග ජාතකයයි......
බලවත් සතුරු ආපදාවන්ට ගොදුරු වු තම රජුන් රටත් තම අපිරිමිත නුවණේ මහිමයෙන් බේරාගත් අසහාය වීර පුරුෂයකු පිළිබඳ කතාවක් කියන උමංදාව හෙවත් උම්මග්ග ජාතකයයි......
බලවත් සතුරු ආපදාවන්ට ගොදුරු වු තම රජුන් රටත් තම අසිරිමත් නුවණේ මහිමයෙන් බේරාගත් අසහාය වීර පුරුෂයකු පිළිබඳ කතාවක් කියන උමංදාව හෙවත් උම්මග්ග ජාතකයයි......
අපමහා බෝසතාණන් "මහෞෂධ" නම් පඬිවරයෙකුව ඉපිද කුල අසාධාරණයන් තු...තු....කොට දමා බමුණුකුල ඇනැතිවරයන් හිරු දුටු කදෝපැණියන් (කනාමැදිරියන්) බවට පත්කළ ගොවියා පුත් මහෞෂධ ප්‍රඥාවේ බලමහිමය කියන "උමංදාව" හෙවත් උම්මග්ග ජාතකයයි.....
යමෙක සක්‌විති සැපතට සරිලන යස ඉසුරු ලදද ඒ සියල්ල නුවණට පරදින බව සනාථ කොට දක්‌වන උමංදාව හෙවත් උමගක කථාවක් ගෙන හැරපාන උම්මග්ග ජාතකයයි.
පාලි උමංදාවෙන් ගෙන සිංහලට සරිලන අයුරින් සිනහව, උපහාසය, වීරත්වය, අත්භුත බව කැටිකළ මහැඟි අනගි කෘතියක් දායාද කළ ඒ වියත් ලේඛකයාණෝ සිය කෘතිය ජනතාව ඉදිරියේ තබා සැඟව සිටිති. සිය කෘතියේ කිසිදු තැනක කතුවරයා කවුරුන්දැයි සටහනක් නොතබති. සාහිත්‍යය කෘතියක කතුවරයා කවුරුන්දැයි යන්න ඔහුගේ සාහිත්‍යය සේවය ඇගැයීම් වස් අපට වැදගත් වුව ද උමංදාව කළ කතුවරයාට කෘතිය තරම් තමන් වැදගත් නොවූවා විය හැක. කෘතිය පමණක් අප ඉදිරියේ තබා තමා කවුරුන්දැයි එක් වචන මාත්‍රයකින්වත් සඳහනක් නොකරන්නේ එහෙයින් විය යුතුය.
එහෙත් එහි කතුවරයා හතරවන පැරකුම්බා රජුගේ ඇමැතිවරයකු වු ප්‍රතිරාජ නම් ඇමැතිවරයකු යන්න බොහෝ දෙනා පිළිගත් අදහසයි. කටින්කට පැවති ආ මතයයි.
වීරසිංහ ප්‍රතිරාජ ඇමැතිවරයා ජාතක කතා පොත සිංහලයට පරිවර්ථනය කිරීමේදී ඉතා විශාල වැඩ කොටසක් ඉටු කළ අයෙකු ලෙස සැලකේ. ජාතක පොතේ එන.....පන්සිය පනස් ජාතක ධර්මය එළුවෙන් දක්‌වන්නට වුව මැනවැයි කියා පරාක්‍රම නම් සත් පුරෂෙයාගේ ආරාධනයෙන් හා වීරසිංහ ප්‍රතිරාජ නම් අමාත්‍යාත්තමයාගේ උත්සාහයෙන් අටුවා සාමීන්ලි ජාතක නියම නොවරදවා එළුවෙන් ලියූ ජාතක කතා සත්පුරුෂයන් වු මනුෂ්‍යයන් විසින් කන්යොමා සිත් එලා ඇසිය යුතු.....යන සටහනෙන් පැහැදිලි වේ.
මේ අනුව ජාතකට්‌ඨ කථාව සිංහලට පෙරලීමේ සද්කාර්යයට එකී දෙස් විදෙස් මහතෙරවරුන්ගේ මූලිකත්වයෙන් කටයුතු කෙරුණු කර්තෘ මණ්‌ඩලයටද එම කාර්යයටද සිය දායකත්වය නොමසුරුව දුන් එම කාර්යයයේදී පුළුල් වැඩ කොටසක් ඉටු කළ අයෙකු වශයෙන් අතින් මෙවැන්නක් බිහි වී යැයි සිතීම යුක්‌ති යුක්‌තය.
අපමහා බෝසතුන් එක් අත් බවෙක හදුන් හරයක් අතැතිව උපදියි එයින් මැ මහ ඔසු (මහෞෂධ) නම් ලබයි. එකල ඔහු උපදින්නේ අඩු කුලයකැයි එකල සැලකුණු ගොවිකුලයේය. එසේ වුවද බුද්ධිමත්ව කටයුතු කිරීමේ හේතුවෙන් පසු කලෙක මියුළු නුවර වේදේහ රජුට පුරෝහිත වෙයි. තනතුරට තම කුලයට නොගැලපෙන අයෙකු යැයි සලකන අනෙක් බමුණු පුරෝහිතයන් සිව්දෙනා වු සේනක, පුක්‌කුස, කාවින්ද, දේවින්ද්‍ර යන අය මොහුට එරෙහි වෙති. සතුරුකම් කරති. කුමන්ත්‍රණ කරති. රජු හා බිඳවති. එහෙත් මේ සියල්ල තම ණැන බලෙන් ජයගෙන මහෞෂධ පඬිතුමෝ අග්‍ර පුරෝහිත තනතුරෙන් ද පිදුම් ලබති.
මේ අතර දඹදිව සියළු රාජ්‍යයන් යටත් කරගත් චූලනී බ්‍රහ්මදත්ත රජු මියුළු නුවර ද යටත්කර ගැනීමට සියළු කටයුතු කරණු ලැබීය. එහෙත් මහෞෂධ පණ්‌ඩිතයන් එක ලේ බිඳකුදු නොසොල්වා උපා බලයෙන් බ්‍රහ්මදත්ත රජු පරාජය කරණු ලැබූ අතර චූලනී බ්‍රහ්මදත්ත රජුගේ තරුණ දියණියක් ද මහළු වේදේහ රජුට පාවා දුන්නා පමණක් නොව මුළු දඹදිවට අග රජුද කරවනු ලබවයි.
මෙම ප්‍රධාන කථාවට අමතරව බෝසතුන්ගේ ප්‍රඥා මහිමය කියාපාන අතුරු කථා පරිකථා රැසක් ද උම්මග්ග ජාතකය අප වෙත ගෙනඑනු ලබයි. මේවා බොහොමයක් මහෞෂධ පඬිතුමාගේ බාල කාලයටත් තරුණ කාලයටත් අදාළව ගොනු කර ඇති අතර මනි ප්‍රශ්නය, සිරි කාලකන්නි ප්‍රශ්නය, ගොන් ප්‍රශ්නය, කණ්‌ඨක ප්‍රශ්නය, කාලගෝල ප්‍රශ්නය, ඉන්සමහරකි. මෙම පරිකථා මහෞෂධ පඬිතුමාගේ බුද්ධියත් ඇතැම්විට වේදේහ රජුගේ මෝඩකමක් නිරූපනය කරයි.
මාර්ටින් වික්‍රමසිංහ ශුරීන් සිය සිංහල සාහිත්‍යය නැගීමේලා, මෙම පරිකථා වූ කලී වස්‌තු විසින් ද සන්දර්භ විසින් ද නවීන කෙටිකථා වලට බෙහෙවින් ළං වන බව පවසයි. සමහර කථා බටහිර රහස් පරික්‌ෂක කථා වලට මුල පුරන ලදැ ඇතැම් විචාරකයන් හදුන්වන කෙටිකථා වලට සමාන යැයි පවසයි. ප්‍රත්‍යක්‌ෂය වහල් කොට ගෙන අනුමානයට බසින බෞද්ධ තර්ක ක්‍රමය මෙහිදී යොදා ගන්නා ලද බව පවසයි.
උමංදාව අවස්‌ථාවට උචිත ලෙස ක්‍රියා කරන අවස්‌ථාවට උචිත දේ කියන ස්‌ත්‍රීන්ද පුරුෂයන්ද ථානායකයන් කොට ගත්තකි. චරිත නිරූපනය අතින්ද උසස් ගණයේලා සැලකිය යුත්තකි.
වේදේහ චරිතය වු කලී ආත්මාර්ථකාමි කපටියනට හසුවන මෝඩ නිකම්ම නිකම් මෝඩයන් නොව ඇත්ත දුටු තැන පිළිගන්නා, වරද දුටු තැන ශෝක වන, ආත්මවර්ණනාවෙන් සන්තෝෂ වන අනුන්ගේ බස් ඇදහීමෙන් වහා කිපෙන, මනමාලකමින් ලණ වුණු නුවණැස ඇති අවංක පුද්ගලයකුගේ සංකීර්ණ චරිතයකි.
බෞද්ධ සාහිත්‍යයේ මෙවන් චරිත අරුමය. බොහෝ විට දැකිය හැක්‌කේ පැතලි චරිතය. මෙවන් සංකීර්ණ චරිත නිරූපණය කළ හැක්‌කේ ප්‍රතිභාපූර්ණ කවියකුට හැර අන් කවරෙකු හටද?
සතුරාට මෛත්‍රී කරන සාධු චරිත බෞද්ධ සාහිත්‍යයේ සුලභය. එහෙත් උමංදාවේ එන මහෞෂධ පණ්‌ඩිතයන් බෞද්ධ සාහිත්‍යයේ එන එවන් සුලභ චරිතයක් නොවේ. එතුමා අවශ්‍ය අවස්‌ථාවල සතුරන් මරවයි. කුඨ උපායෙන් සතුරන් පරාජය කරයි. නාකි මහල්ලෙකු වූ කේවට්‌ටයාගේ හොස්‌ස ලේ ගලන තෙක් බිම උලයි. බෝසත් කෙනෙකුන් විසින් නොකළ යුත්තක් වුවද කාමයෙන් කණවුණු නාකි මනමාලයකු වූ වේදේහ රජුට හිරිමල් වියේ සිටි චූලනී බ්‍රහ්මදත්ත රජුගේ දියණිය සඟවා ගෙනවිත් පාවාදෙයි. මේ නම් බෞද්ධ සාහිත්‍යයේ එන සම්ප්‍රදායික බෝසත් චරිතයක් නොවේ. සංකීර්ණ සමාජයකදී ඒ ඒ ප්‍රශ්න වලට ඒ ඒ අයුරින් මුහුණ දෙන යථාර්ථවාදී චරිතයකි. වත්මන් බටහිර නවකථා වල එන චරිත නිරූපනයට මාර්ටින් වික්‍රමසිංහයන් උමන්දාදෙව් චරිත නිරූපනය සමාන කරන්නේද එහෙයින් විය යුතුය.
උමංදාවේ සාමාජික වටිනාකමද බෙහෙවි. එය මිනිසෙකු සාර්ථක මිනිසෙකු කරන්නේ ඔහු සතු ජන්මය, කුලය හෝ නොව ක්‍රියාදාමයත් බුද්ධිමයත් බව කියාපෑම හැර අන් කුමක්‌ද? උමංදාවේ බසද පොදු ජනයාගේ සිත් ගැනීමට සුදුසු බසක්‌ම වේ. එය ලිඛිත ව්‍යවහාරයක් කථා ව්‍යවහාරයත් මනාලෙස සංකලනය කරනු ලැබූ වත්මන් ව්‍යවහාර බසට බෙහෙවින් නුදුරු වූවකි. මේ කාල-ගෝළ ප්‍රශ්නයේදී කාල ගෝළයන් හදුන්වා දුන් හැටි.....මිටි හෙයින් ගෝළ යැයි කියාද කළු පෑ ඇති හෙයින් කාළ යැයි කියාද, ලබන ලද නම් වු එක් මිනිසෙක් වනාහි සත් අවුරුද්දක් ගෙයි කඹුට අඹුවක ලද ඕ නමින් දික්‌තල නමැ.....
උපමා සොයායාමේදී ද බෞද්ධ සාහිත්‍යයේ එන සම්ප්‍රදායික උපමා මෙන්ම ගැමි ව්‍යවහාරයේ එන උපමාද බහුලව යොදා ගනී. අහසට පොළොව සේ, මුහුදු එතෙර මෙතෙර සේ, කොක් කරක් සේ එසේ යොදාගත් උපමා අතර වේ.