විද්වත් කර්තෘ මණ්‌ඩලයක් විසින් සම්පාදිතය. බෝධි සත්වයෝ විවිධ ජාතිවල උපන්නහ. විවිධ කුලවල උපන්නහ. උසස් පන්ති වල උපන්නාහ. පහත් පන්තිවල උපන්නාහ. මිනිසුන්ව උපන්නාහ. තිරිසනුන්ව උපන්නාහ. දෙව්ලොව උපන්නාහ. බඹලොව උපන්නාහ.
සොරුන් අතර උපන්නාහ. සුරාව සූදුව නැනි දුසිරිත සිරිතකරගත් අය අතර උපන්නාහ. ඒ ඒ ජන්මයන්හි ජන්මලාභය ලැබූ අවස්‌ථාවල සිදු වු සිද්ධි ජාතකකතාවලට විෂය වී ඇත.
බුදුරදුන් ජීවමානව විසූ කාලයේ විවිධ අවස්‌ථාවල පැන නැගුණු සිද්ධි විමර්ශනයට ලක් කිරීමට එතුමාණන්ට සිදු විය. මෙලොව වශයෙන් අදට වඩා හෙට යහපත් තැනක් කිරීම එතුමාගේ පරම අභිලාෂය විය. පරලොව වශයෙන් මේ අත්භවයට වඩා ඊළඟ ආතමය සුඛිත මුදිත කිරීම, නො එසේව බුදු දහමේ අග්‍රඵලය වන නිවන් පසක් කර දීම එතුමාගේ දහමේ හරය විය. පරම අභිලාෂය විය.
මෙම අභිලාෂයන් මුදුන්පත්කර ගැනීම් වස් ඒ ඒ අවස්‌ථාවේ සිදු වු සිද්ධි මුල්කරගනිමින්, විෂයකර ගනිමින් ඒ පිළිබඳව පුළුල් විග්‍රහයක් කරණු වස් අතීතය යොදාගනිමින් බුදුරජාණන්වහන්සේ විසින් දේශනාකරණු ලැබූ කතන්දර "ජාතක කතා" නමින් පිළියෙළ වී ඇත.
ජාතක පොත සිංහල සාහිත්‍යයට එක් වීමට පෙරාතුව සසදා (යස ජාතකය) මුව දෙව්දා (මකාදේව ජාතකය) කව්සිළුමිණ කරගනු ලැබූ වද, බුත්සරණ, වෙස්‌සන්තර ජාතකය විග්‍රහකරනු ලැබූවද සද්ධර්මරත්නාවලී, පූජාවලිය ඈ කෘතීන්හිදී ජාතකකතා නිදසුන් කොට දැක්‌වුවද මුළු ජාතක පොතම සිංහලයට නැඟුවේ කුරුණෑගල් පුර යුගයේදී ය.
සිව්වැනි පැරකුම්බා නිරිදු මෙම භාරදූර සද්කාර්යය මෙහෙය වීමෙහිලා උත්සුක විය. වීරසිංහ ප්‍රතිරාජ ඇමැතිවරයානන්ද මෙම භාරදූර සද්කාර්යයේලා නොමඳ සහායක් පළ කරණු ලැබීය.
පන්සිය පනස් ජාතක පොත, මෙරට වැසි මුළු මහත් බෞද්ධ ජනතාවගේ අති මහත් ගෞවාදරයට පාත්‍ර වූ ඔවුන්ගේම වචනයෙන් සඳහන් කරන්නේ නම් ජාතක පොත් වහන්සේ එක කර්තෘවරයෙකු විසින් සිංහලයට නැඟුවක් නොවේ. විද්වත් කර්තෘ මණ්‌ඩලයක් විසින්, සොලී රටින් පැමිණි මහ තෙරුන්ගේ මූලිකත්වයෙන් සිංහලයට නගන ලද්දකි.
මේ පිළිබඳව මහා වංශ කතුවරයා මෙසේ සාක්‌ෂි දරයි. ".....ඒ රජතෙමෙ සොලී රටෙන් ආ නානා භාෂාහි විශාරද වූ තර්කාගමධාරි මනාව හික්‌මුණු එක් මහතෙර කෙනෙක් රාජ ගුරුතන්හි තබා උන්වහන්සේ වෙත සියළු ජාතකයන් නිරන්තරයෙන් අසමින් ඉගෙන එහි අර්ථද ධාරණය කොට ඊට අනතුරුව සුභ වු ඒ සියළු පන්සිය පනසක් ජාතකයන් පාලි භාෂාවෙන් ගෙන සිංහල නිරුක්‌තියට පිරිසිදු කොට ලියවා...."
ජාතක පොතද මේ බව සඳහන් කිරීමට අමතක කොට නැත...."අටුවා සාමීන්ලී ජාතක නියාම නොවරදවා එළුවෙන් ලියූ ජාතක කතාව සත් පුරුෂයන් විසින් කන්යොමා සිත් එලා ඇසිය යුතු...." යන්නෙන් ඒ බව පැහැදිළි වේ.
ජාතක පොත පාලි ජාතකට්‌ඨ කථාවේ පරිවර්ථනයක් ලෙස සැලකුනද ඇතැම් තැනකදී මූලික අන්තර්ගතය නොබිඳෙන පරිදි ඒ ඒ කර්තෘවරුන් විසින් සකස් කරනු ලැබ ඇත. තැනක සවිස්‌තරව කෙරෙන පරිවර්තනයකි. තැනක සංක්‌ෂිප්ත කෙරෙන පරිවර්තනයකි. තැනක අනුවර්තනයකි. යනුවෙන් පරිවර්ථන විධි කීපයක්, භාෂා ශෛලින් කීපයක් දක්‌නට ලැබේ. මේ තත්වයට හේතු වී ඇත්තේද නානාකර්තෘත්වයයි.
පරිවර්ථන ස්‌වරූපය හදුනාගැනීම් වස් එක් නිදසුනකි මේ. "අතීතෙ කාසිරටේඨ බාරාණාසිනගරේ බ්‍රහ්මදත්තා නම් රාජා අහෝසි"
(ජාතකට්‌ඨ කථා-අපණ්‌ණක ජාතකය)
"යටගිය දවස කසී රට බරණැස නුවර බ්‍රහ්ම දත්ත නම් රජ්ජුරු කෙනෙක් සතර සංග්‍රහ වස්‌තුවෙන් ජනරංඥජනය කොට රාජ්‍යකරන්නාහුය."
(ජාතක පොත - අපණ්‌ණක ජාතකය)
පන්සිය පනස් ජාතක පොත යනුවෙන් හැදින්වුවද ජාතක පොතේ ඇත්තේ ජාතක කතා 547 ක් පමණී. මෙම ජාතක කතා තුළින් දානය, ශීලය ආදී දස පාරමිතා කුළු ගැන්වීම අර්ථකථනය කිරීම, අවබෝධකරදීම කරණු ලබයි.
නානාවිධ කර්තෘන් විසින් සිංහලයට සංදර්භය හා පරමාර්ථය විසින් යම් යම් වෙනස්‌කම් මඳ වශයෙන් දක්‌නට ලැබුණද සෑම ජාතක කතාවක්‌ම ආකෘතිමය වශයෙන් එක හා සමානය.
ඒ අනුව සෑම ජාතක කතාවක්‌ම වර්තමාන අතීත කතාවලින්ද පූර්වාපර සන්ධි ගැලපීමකින්ද යුක්‌තය. ජාතක කතාවට හේතු වු වර්තමාන කතාව සනාථ කරණු වස් ගෙනහැර පෑ අතීත කතාව කියා අවසානයේදී මේ කතා දෙකම ඒකාබද්ධ කර පූර්වාපර සන්ධි ගලපනු ලබයි. වර්තමාන කතාවට බුදුරජාණන්වහන්සේ ගේ ජීවමානව සිටි කාලයේ සිද්ධියක් විෂය වී ඇත. ඒ සඳහා බුදුරජාණන්වහන්සේ භික්‌ෂුවකගේ හෝ දායකයකුගේ අත්දැකීමක් විෂය කරගනී.
එම පුවතට අදාළව අතීතකතාව ගෙන හැර පායි. එය වත්මන් කතාවට අනුරූප වන්නකි. ඉතාමත් සවිස්‌තරව දැක්‌වෙන්නේද ජාතක කතාවේ ප්‍රබලම තැනක් හිමිකර ගන්නේද මෙම අතීත කථාවයි. අතීත කථාව අවසන් කරන්නේ වත්මන් කතාව හා ඒකාබද්ධ කර පූර්වාපර සන්ධි ගැලපීමයි. සෑම ජාතක කතාවක්‌ම විකාශනය කර ඇත්තේ ආඛ්‍යන ශෛලියයි. එසේ වුවද ආඛ්‍යන ශෛලියට බාධාවක් නොවන අයුරින් දෙබස් හා සංවාද යොදා ගැනීමට ජාතක කතාකරුවන් අමතක කර නැත.
දිසාපාමොක් ආචාරී හා මැහැල්ල අතර සිදුවන දෙබස් ඛණ්‌ඩය ඇතුළත් මේ නිදසුන 8 වන ශ්‍රේණියට නියමිත තීලමුට්‌ඨ ජාතකයෙනි. "දිසාපාමොක් ආචාරින් වහන්ස, තමන් වහන්සේ ගේ අතවැස්‌සන් ලවා මාගේ තල ගන්නා සේක්‌යැයි" .....මොරගෑව. එවිට දිසාපාමොක් ආචාරි.......
"ඇයි මෑණියෙනි ඔබ කුමන අන්‍යාවක් කළෙම්දැයි කීහ." එවිට ස්‌ත්‍රී කියන්නී.........
"නුඹ වහන්සේ පස්‌සේ එන අතවැසි තුන්වරයක් මගේ තල අරගෙන ඉනිබ්බෙන් තල ගනිත්නම් මාගේ තල නිමෙන්නේ යයි"....මොරගා කීය.
එවිට දිසාපාමොක් ආචාරිහු කියන්නාහු......
"ඊට තොප වික්‌ෂප නොව තොපගෙන් කෑ තලවලට මම මිල දෙමියි කීහ.
ජාතක කතාකරුවන් කතන්දර කීමේ රීතියට අනුකුලව ගැමි වහරේ එන යෙදුම්, සම්ප්‍රදායිකව වගාලාප උපමා උපමේය යොදා ගැනීමට අමතක කර නැත. කවි සමයානුගත උපමා රූපක වලින්ද පොදු ජන ජීවිතය ඇසුරෙන් නිපන් උපමා රූපක වලින්ද සිය බස් වහර පෝෂණය කරගනු ලැබ ඇත.
මේ නිදසුන් 7 වන ශ්‍රේණියට නියමිත මාතුපෝසක ජාතකයෙනි. එහිදී.....
"ධවල වු ඇත් රජුගේ සොඬ උපමා කරණුයේ රිදී දමකටය.."
"වැලපෙන මව් ඇතින්නගේ ස්‌වභාවය උපමාකරණු යේ තවත් ඇතින්නකටය. කනෙර ධේනුවකටය.
ජාතක පොතේ එන බොහෝ කතා වස්‌තු විෂය හා බස් වහර විසින් වත්මන් කෙටිකතාවලට සමාන වුවද රීතිය විසින් ඊට බොහෝ ජාතක කතා උපදේශයක් දීමේ පරමාර්ථය මුල් කොට ගත්තද පැරැණි භාරතීය ජනතාව අනාදිමත් කාලයක සිට ජීවිතයේ ලැබූ ගැඹුරු අත්දැකීම් හා ඥාණ සම්භාරයන් මේ කතා තුළ ගැබ් වේ. මිනිස් කමට පොදු රාගය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මෛත්‍රිය, දයාව, කරුණාව වැනි සංකීර්ණ විශ්ව සාධාරණ කරුණු රැසක් මෙම කතාවනට ගැබ්ව ඇත.
සමාජයේ ලොකු කුඩා කුදු මහත් විවිධ තරාතිරමේ පුද්ගල චරිත මේ කතා තුළින් දිග හරිනු ලබයි. සතා සරුපයා ගැනද කියැවේ. උත්කෘෂ්ඨ ගුණ සමුදායකින් හෙබි බෝසත් චරිත වටා මේ කතා ගොනු වුවද අනෙක් චරිත තුළින් සෑම තරාතිරකම අය ගැන කියැවේ. සුදනගති ජයගනු ලැබූවද දුදනගතිද විග්‍රහ වේ.
ජාතක පොත විවිධ පරිවර්ථන ස්‌වරූපයක් ගත් බව ඉහත ද සඳහන් කළෙමි. එයට හේතුව ජාතක පොත නානාකර්තෘ විසින් සංගෘහිත කතා සංග්‍රහයක් වීම බවද අවධාරණය කළෙමි. මේ තත්වය නිසාම භාෂා ශෛලිය විසින් ගත්කළ අමාවතුර, බුත්සරණ, සද්ධර්මරත්නාවලිය මෙන් එක් ශෛලියට අහේනියක් නොමැති භාෂා රීතියකින් යුක්‌තය.
6 වන ශ්‍රේණියේදී පන්සිය පනස් ජාතක පොතේ එන "වරදට දඬුවම" හාපුරා කියා කියනු ලබන ඔබ 7 වන ශ්‍රේණියේදී 'මාතුපොසක ජාතකය' අධ්‍යයනය කරණු ලබයි. 8 වන ශ්‍රේණියේදී 'තිලමුට්‌ඨි ජාතකයද" 9 වන ශ්‍රේණියේදී භීමසේන ජාතකයද හදාරනු ලබයි. 10-11 ශ්‍රේණිවලදී "අපණ්‌ණක ජාතකය" හැදෑරීමට සිදු වේ. එහෙයින් ඔබට කඩ ඉමක් වන අ.පො.ස. (සා.පෙ.) විභාගයට නියමිත 10-11 සිංහල සාහිත්‍ය සංග්‍රහයේ එන අපණ්‌ණක ජාතකය කෙරේ අවධානය යොමු කරමු.
අපණ්‌ණක ජාතකය අඥාන, අව්‍යක්‌ත උපායෙහි දක්‌ෂ නොවන අදුරදර්ශි අයකු විනාශයට පත්වන අයුරුත් නුවණැති ව්‍යක්‌ත උපායෙහි දක්‌ෂ දුරදර්ශි අයකු විනාශයට පත් නොවී අභියෝග ජයගන්නා අයුරු කියාපාන ජාතකකතාවකි. මේ අරමුණ සාක්‌ෂාත් කරගනු වස් එහි වස්‌තු බීජය වටා කතාව ගොනු කරණු ලබයි. චරිත හසුරුවනු ලබයි.
ජාතක කතාකරු අපට පළමුව නුවණැති වෙළෙන්දා හදුන්වා දෙනු ලබයි. ඔහු අනෙකකු නොව පුරණ ලද බෝධි සම්භාර ඇති අපමහ බෝසතාණෝය. එකල බෝසතුන් නිරත වු රුකියාව වෙළඳාමයි. එය සංචාරක වෙළඳාමක් විය. එම වෙළඳාමේ ස්‌වභාවය කියා පෑමට කතුවරයා යොදාගනු ලබන්නේ කෙටිවැකි දෙකක් පමණී. බලන්න කිවයුතු සියල්ල ඒ කෙටි වැකි දෙකේ ගැබ් කරණ අයුරු. නුවමනා වර්ණයෙන් තොරව කෙටියෙන් කියූ අයුරු.
".......ඒ බෝධි සත්වයෝ කලෙක නැගෙනහිරින් බස්‌නාහිරට යෙති. කලෙක බස්‌නාහිරින් නැගෙනහිරට යෙති......" අනතුරුව අප ඉදිරියට පමුණුවන්නේ අඥාන වෙළෙන්ඳාය. ඔහුගේ සවභාවය ඉදිරියේදී ක්‍රියාවෙන්ම විස්‌තර කිරීමට ඉඩතබා ඔහුගේ අඥාන ස්‌වභාවය පමණක් අප ඉදිරියේ ගෙනහැරපායි.
බෝසතාණන්ද, මොහුද වෙළඳාම සඳහා යා යුතු වූයේ එකම මඟකය. එහෙයින් වෙළඳාම කළයුතු වූයේ එකම පිරිසකටය. එහෙයින් එකමඟ එකවර ගියහොත් දෙදෙනාගෙන් එක් අයෙකුටවත් වෙළඳාම් සරිකර ගත නොහැකිවනු ඇත. මේ තත්වය යථාර්ථයෙන්තේරුම් ගෙන පළමුව යා යුත්තේ කවුරුන්දැයි අනෙක් වෙළෙන්ඳාගෙන් අසයි.
මේ නම් බෝසතුන්ගේ බුද්ධිමත් භාවට වචනයට නොනඟා පාඨකයාට ශ්‍රාවකයාට සිතා ගැනීමට අවස්‌ථාව සලසා දීමකි. මෙවන් අවස්‌ථාවක තමා පළමුව හෝ පසුව යෑම පිළිබඳව තීරණයක් ගෙන අනෙකා ඉදිරියේ තැබුවේ නම් ඔහුද බෝසතුන් ගත් ක්‍රියාමාර්ගය වාසිදායක යැයි සිතා එයම ඉල්ලනු ඇත. ආරවුලක් පැන නගිනු ඇත. මෙවන් තීරණයක් ගත හැක්‌කේ බුද්ධිමතෙකුටමය. ආත්මාර්ථය මමත්වය තුනීකරගත් අයෙකුටමය.
යා යුතු මඟෙහි බොහෝ දුර යෑමෙන් අනතුරුව එළඹෙන්නේ නිරුදක කතරකි. ඒ නිරුදක කතර තරණය කිරීම සඳහා පැන්සල් පුරවා යෑමට සූදානම්ව සිටියදී එම කතරට අධිගෘහිත යක්‌ෂයා හා පිරිස මිනිස් වෙස් ගෙන පැමිණේ. තෙත් ඉසකේ සහ පිළි ඇතිව....පැන් බින්දු හා මඩ බින්දු වගුරමින් ඔහු ඉදිරියේ පෙනී සිටී. ඉදිරියේ ජල සහිත පෙදෙස් ඇති බව පවසයි. ඔහු කිසිදු වග විභාගයකින් තොරව පැන්සල් බිඳ දමයි. උලුක්‌කුවක් තරම්වත් ජලය තබා නොගනී. ඒ නිසාම නිරුදක කතරෙදි ඔහු පමණක් නොව ඔහුගේ
පිරිසටද හරක් සමූහයාට ද විනයක් කැටුණෝය.
අඩමසක් ගිය තැන බෝසතුන්ද එමගින්ම පැමිණේ කතරට අධිපති යක්‌ෂයා බෝසතුන් ඉදිරියට පැමිණ ඒ අයුරින්ම වෙසක් මවාගෙන ඒ අයුරින්ම කරුණු කියා සිටී. එහිලා නොරැවටෙන බෝසතුන් අපූරු පිළිතුරක් දෙනු ලබයි. තෙපි පලා යව. අප සැම වෙළදුන්ගේ අනික් පැත්තෙන් නොදැක ඇරගත් පැන් නොදම්හ. පැන් දුටු තැනේදී පැන්දමා ලිහා ගැල් සැහැල්ලු කොටගෙන යම්හයි කිවූය. මෙහිදී රැවටෙනුයේ බෝසත් වෙළෙන්ඳා නොව මිනිස් වෙස්‌ගත් යක්‌ෂයාය. කෙතරම් අපූරු බුද්ධිමත් තීරණයක් ද? දූරදර්ශි නුවණක්‌ද?
මේ නම් අසා රස විඳින කියවා රස විඳින ශ්‍රද්ධාවත් බෞද්ධ ජනතාව සඳහාම ලියන ලද ජාතක කථාවේ අභිමතාර්ථය සාධනය කිරීමක් නොවේද?
අනතුරුව ඉදිරියට යන බෝසතුනට දක්‌නට ලැබෙන්නේ අඥාන වෙළඳ තෙමේ හා ඔහු මෙහෙය වු පිරිසට අත් වු ඉරණමයි. යක්‌ෂයාගේ උගුලට හසු නොවූවද එවැනි බිහිසුණු තත්වයක් තමනට තම පිරිසට එල්ල නොවෙතැයි කාට කිව හැකිද? ඒ නිසා එවන් තත්වයක් මතු වුවහොත් ඊට මුහුණදීම වස් කටයුතු යොදන්නේ නියම නායකයකු ලෙසිනි.
අවදානමට සාර්ථකව මුහුණ දීමෙන් පසු දෙවැනි දින උදෑසන සියලු කටයුතු සපයාගෙන යන්ට සිතු තැනට ගොස් දියුණු දියුණු මිලයෙන් බඩි විකුට සියලු පිරිස් සමඟ නැවත තමන්ගේ නුවරට පැමිණේ....මේ අයුරින් අඥාන අයුරින් කටයුතු කිරීමෙත් බුද්ධිමත්ව කටයුතු කිරීමේත් ආදීනව කියා පෑම සඳහා ඊටම සුදුසු බසක් ඊටම සුදුසු රීතියක් යොදා ගනු ලබයි. එය අපණ්‌ණක ජාතකය කලාත්මක නිර්මාණයක් කිරීමට හේතු සාධක වේ.
අසා රස විඳීමට කියවා රස විදීමට සුදුසු ආඛ්‍යාන ශෙශලියමය. එසේ වුවද ඒ ආඛ්‍යාන ශෛලිය බිඳ නොහෙලමින් සංවාදයන්ද දෙබස්‌ද යොදා ගනු ලබයි. බලනු මැනවි.....අවධානය යොමු කරනු මැනවි.
"..........වැසි සුළඟ නම් කෙතෙක් තැන් අමාදැයි විචාළේය. ....ස්‌වාමිනි යොදුනක් පමණක් තැන් අමන්නේ වේ දැයි කිවූය. කිමෙක්‌ද? තොප හැම අතුරෙන් එක් කෙනෙකුගේත් ඇග වැසි සුළගෙක් වැදගත්දැයි විචාළෝය. නැත ස්‌වාමිනියි කීහ..."
මෙහි බස උගතුනට මෙන්ම නූගතුනටද අසා රස විදිය හැකිය. සරලය. විචිත්‍රය. නාට්‍යවෝචිතය. රූපකාර්ථ නංවන සුළුය. කට වහරට සම්බන්ධ කාව්‍යවෝචිත බස් වහරක්‌ම යොදා ගනු ලැබීය. "....නිබඳ වැසි වන්නේය. කදු රැළි පුරා දිය දුවන්නේය." වැනි වදන් ඊට නිදසුන් වේ.
අපණ්‌ණක ජාතකය තුළ අත්භුත සිදුවීම් බහුලය. එහෙත් ? සිදුවීම් තම උපදේශක අරමුණු සඳහා මනාලෙස සංකලනය කරගනී. දියයුතු පණිවිඩය ගැඹුරින්ම ශ්‍රාවක පාඨක පිරිසට කාවද්දනු ලබයි. ඉලක්‌ක කරන ලද පිරිසේ මනදොළ සපුරාලනු ලබයි. එහෙයින් ජාතක කථාවක් වශයෙන් ගෙන එහි මුඛ්‍යාර්ථය සලකන විට අපණ්‌ණක ජාතකය සාර්ථකය. නිර්මාණාත්මකය.