දෙවන පැරකුම්බා මහ රජතුමා
 

ලොව පාලකයන් අතර සාහිත්‍ය කරණයේ යෙදුණු පාලකයන් සිටින්නේ අතලොස්‌සකි. ඒ අතර සර්ව කාලීන වූත්, සර්වත්‍රික වූත් සාහිත්‍ය කෘති බිහි කළ පාලකයන් සිටින්නේ අතැඟිලි වලටද වඩා අඩු සංඛ්‍යාවකි. එවන් එක්‌ අග්‍රගන්‍ය කවියකු පිළිබඳ හිමිකම් කීමට අපිදු වාසනාවන්තයන් විමු.


එම කිවිදුන් නම් අනෙකකු නොව "කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්‌ඩිත" යන උපාධි නාමයෙන් පිදුම් ලැබූ දෙවන පැරැකුම්බා මහ රජතුමාය.......පුරා සතළිස්‌ වසක්‌ දිවයින පාලනය කළ කාලිංගමාඝ පළවා හැර රට විදේශීය සතුරාගෙන් මුදවාගත් දෙවන පැරැකුම්බා මහ රජතුමාය......බුද්ධාගමට හිමිව තිබූ ඛේදනීය ඉරනමින් එය මුදවා ගෙන සසුන් කෙත යළි නඟා සිටවූ දෙවන පැරැකුම්බා මහ රජතුමාය....ප්‍රමාණාත්මකව මෙන්ම ගුණාත්මක වර්ධනයෙන් යුතු සාහිත්‍යයක්‌ ගොඩනැගීමට අත හිත දෙවන පැරැකුම්බා මහ රජතුමාය .....දඹදෙනි යුගය සිංහල සාහිත්‍යමයි ස්‌වර්ණමය යුගයක්‌ කිරීමට ක්‍රියාකාරි දායකත්වයක්‌ සැපයූ දෙවන පැරැකුම්බා මහ රජතුමාය......පුරා අවුරුදු තිස්‌පහක්‌ ක්‍රි.ව.(1236-1270) දඹදෙණිය සිය රාජධානිය කර දීර්ඝකාලයක්‌ දැහැමෙන් සෙමෙන් රට පාලනය කළ දෙවන පැරැකුම්බා මහ රජතුමාය.

කෘතිය සිංහල කාව්‍යයේ මුදුන් මල්කඩ වු කව් සිළුමිණය. සිංහල කාව්‍යයේ අසමසම මහා කාව්‍ය වු කව් සිළුමිණයි. අලංකාරවාදයේ අග්‍රඵලය වු කව් සිළුමිණයි. කව්සිළුමිණේ කතුවරයා දෙවන පැරැකුම්බා මහරජතුමා බව කව්සිළුමිණේ එන මේ අවසාන පද්‍යයෙන් පැහැදිළි වේ.


"සඳකැන් කොත් වහත් දෙරණත් නත් වන්
මෙත් කිත් පතළ කලිකල් සවැනි නිරිදු කළේමේ."


(චන්ද්‍ර වංශයෙහි උපන් ක්‌ෂත්‍රීයයන්ට කොතක්‌ වැනි වු) පොළෝතලය ඉසිලීමට අනන්තයා වැනි වු (පොළෝතලය උසුලනු) ලබන්නේ අනන්ත නම් නාග රාජයකු යැයි කියනු ලැබේ) පැතිරුණා වු මෛත්‍රියෙන්ද, කීර්තියෙන්ද යුක්‌ත වු කලිකාල සර්වඥ (නාම්ධාරී) නිරිදුන් (නරේන්ද්‍රයන්) විසින් මේ කාව්‍යය කරවන ලදී.


වාසගමින් හෝ කවියෙන් හෝ යමක්‌ හෙළ බසින් ලියන්නේ නම් එය බොදු පිළිවෙත මත පිහිටා කළ යුතු බව පැරැණි අපේ පඬිවරුන් ඒකමතිකව පිළිගත් කරුණකි. ඒ අනුව යමින් කව්සිළුමිණ ද කරණු ලැබ ඇත. ඒ බව දෙවන පැරැකුම්බා නිරිදුන් සඳහන් කරණු ලබන්නේ මෙසේය.
"කිව් බැව් කිවිදු මේ කුසුම් සැපතෙහි විපුල්
පෙළෙ බෝසත් සර වැනුම් වියතෙ මුවපත් වේවා"


කව්සිළුමිණට වස්‌තු විෂය වූයේ ඉතාම අවලස්‌සම මිනිසෙකු ඉතාම රූප සම්පන්න මෙනෙවියක ලබා ගැනීමට ගොස්‌ කලකී දෑ කියවෙන ජාතක පොතේ එන කුස ජාතකයයි. මොහොතකට අපි ඒ දෙසට යොමුවෙමු.


"එකල දඹදිව කුසාවතී නම් නුවරක්‌ විය. ඔහුගේ අගමෙහෙසිය වුයේ සීලවතී බිසවයි. ඇයට දරුවෙක්‌ නොවීය. රටේ අනාගත පාලනයට සුදුස්‌සෙකු නොමැති හෙයින් වැසියෝ කලහ කළහ. බිසව දුක්‌ වූවාය. එයින් සක්‌දෙව් රජුගේ පඬුපුල් ආස්‌න හුණු විය.


සක්‌දෙව් රජු මහළු බමුණකු ගේ වෙස්‌ගෙන විත් සීලවතී බිසව තව්තිසා දෙව් ලොවට ගෙන ගියේය. එහිදී ඔහු ඇයට පුතුන් දෙදෙනෙකුට වරම් දුන්නේය. එකෙකු නුවණැතිය. විරූපිය. හෙතෙම කුස නම් විය. අනෙකා රුවැතිය. මෝඩය හේ ජයම්පති නම් විය. ඇගේ ඉල්ලීම පරිදි නුවණැති පුතා පළමුවද රුවැති පුතා දෙවනුවද ලැබීමට සලස්‌වනු ලැබ්ය.


නිසි වයසට පත් වු විට යුව රජ තනතුරට පත් වු කුස කුමරුට විවාහයක්‌ කරදීම වස්‌ අදහස්‌ විමසීය. කුසකුමරු ඊට කිසිසේත්ම කැමැති නොවීය. එහෙත් දෙමාපියන් ගේ දැඩි ප්‍රයත්නය නිසා රන් රුවක්‌ තනවා එවන් කුමාරිකාවක්‌ ලදහොත් විවාහ වන බව පැවසීය. ඒ හා සමාන රූප සම්පත්තියෙන් හෙබි කුමාරියක්‌ හමු විය. ඇය මදුරට රජුගේ දියණිය වු පබාවතීයයි.


එහෙත් මෙවන් කුමරියක්‌ කුස වැනි විරූපි අයෙකු සමඟ කෙසේ එක්‌ වෙයිද? මව් බිසව උපායක්‌ යෙදීය. ඒ තම කුලයේ ස්‌ත්‍රියක්‌ දරුවෙකු පිළිසඳගන්නා තුරු ස්‌වාමියා දහවල නොදැකිය යුතුය යන්නයි. මදු රජුද ඊට එකඟ විය. මනාලයා නොමැතිව මඟුල සිදුවිය.


විවාහයෙන් පසුව කුස කුමරුට පබාවතී දැකීමට අවශ්‍ය විය. තොප ඇත්ගොව්වකු ලෙස ඇත් ගලේ සිටින්න. මම පබවත කැඳවාගෙන එමියි මව් බිසව කීවාය. මව් බිසව ඇය කැඳවා ඇත් හලට ගියාය. සුදුසු අවස්‌ථාවක්‌ බලා කුසරජු ඇත් වසුරින් (බෙටිවලින්) පබවතට ගැසීය. මව් බිසව ඇය අස්‌වසාලීය.


තවත් දිනක පබාවතීටද කුස රජු දැකීමට සිත් විය. ඇය නැන්දනියට කීවාය. සීලවතී බිසව ජයම්පති කුමරු රජු ලෙස සරසා ඇතුපිට තබා කුමරු ඇත් ගොව්වකු ලෙස සරසා පසුපසින් තබා පෙන්නුවාය. එදිනද කටින් විකාර කොට විරිත්තමින් උසුළු විසුළු පෑවේය.


තවත් දිනක කුස කුමරුට පබාවතී දැකීමට අවශ්‍ය විය. අප්‍රසිද්ධ වේශයෙන් උයනට ගොස්‌ සිටුවයි මව් බිසව කීවාය. එබස්‌ අසා කුස කුමරු උයනට ගොස්‌ මඟුල් පොකුණේ කරවටක්‌ දියට බැස නෙළුම් පතකින් ඉස වසා සැඟවී සිටියේය. පබාවතී බිසව උයන් සිරි නරඹා පොකුණට බැස මුව දොවන විට රජතුමා නෙළුම් කොළ ඉවත් කර "මම කුස රජු" යැයි කියා පබවත අත ඇල්ලීය. යකෙක්‌ මා අත ඇල්ලීයැයි ඈ මුසපත් වූවාය. (මෙයක්‌ ලූ මා හිමි-පබවතලු ඔහු විදිනේ- මේ යක්‌ෂයාලු මාගේ ස්‌වාමියා පබවත සිටිනුයේ ඔහු සමඟලු) යැයි කියා විරූපි කුස කුමරුගෙන් මට වැඩක්‌ නැතැයි කියා පෙරලා සිය රටට ගියාය.


දැඩි ශෝකයට පත් කුස රජතුමාද ඇය සොයා සාගර පුරට යයි. රජමාලිගයට ගොස්‌ බැල මෙහෙවරකම් කරයි. පබවතීද ඒ බව දැනගනී. මේ අයුරින් සත්මසක්‌ බැල මෙහෙවර කළත් පබාවතීගේ සිත දිනාගත නොහැකි විය. මෙය දකින සක්‌ දෙවිදුගේ පඬුපුල අස්‌න හුණුවේ. එහෙයින් සක්‌ දෙවිදුන් උපායක්‌ යොදයි.


පබාවතී කුස රජු හැර දමාවිත් රජ මාලිගයේ සිටී. වහා ඇවිත් ඇය රැගෙන යන්නයි මදුරජු යවන අයුරින් රජවරුන් හත්දෙනෙකුට දූතයන් අත හසුන්පත් යවයි. රජවරු පැමිණේ. ඔවුනොවුන් මුන ගැසේ. එකදුව හත් දෙනෙකුට දෙන්නේ කෙසේදැයි කිපුණු රජවරු අපට පබාවතී දෙන්න නැත්නම් යුද කරමියි මදු රජුට කීහ.


විපතින් ගැලවීමට පබාවතී සත්කඩයකට කපා සත් රජුනට දීමට තීරණය කරණු ලැබීය. මෙය දැනගත් පබාවතී මව ළඟට ගොස්‌ හඬා වැලපුනි. කුස රජු පැමිණියේ නම් මේ කරදර සියල්ල අවසන් යැයි කියා මව කුස රජුගේ ගුණ වනාලීය. පබාවතී තමා බේරා ගන්නැයි කුස රජුගෙන් අයැදීය. අන්තිමේදී කුස රජු සත් රජුන් පරදවා ජයගනී. පබාවතී බිසවද රැගෙන සිය රටට ගොස්‌ දැහැමෙන් සෙමෙන් රජ කරමින් යහපත් විවාහ දිවියක්‌ ගත කරනූ ලැබීය.


මේ කථා පුවත කව්සිළුමිණකරු තමනට රිසි පරිදි විටෙක වෙනස්‌ කරයි. විටෙක අඩුකරයි. එහි එන පාත්‍රයනට අමුතුවෙන් පණ හන්වයි. කවියට සුදුසු ලෙස එය අඹා පෙරළා ගනියි. හැම තැන්හිදිම රසයෙන් පුරවයි. මහා කාව්‍යයකට ඇවැසි ලෙස සැඳ, නිසා උදා උයන්කෙළි, දියකෙළි, මධු පානෝත්සව ආදී අංග ඇතුළත් කොට සර්ග 15 ක්‌ ඔස්‌සේ පද්‍ය 767 ක්‌ පුරා සිය කාව්‍ය දිවයනු ලබයි.


කුමාරතුංග මුණිදාස ශුරීන්ට අනුව අන් භාෂාවකින් ලියවී ඇති මහා කාව්‍යයක්‌ හා වුවද නොනැමී පැහැසෙන්නට සමත් බැවින් "කව්සිළුමිණ" කාව්‍යය හෙළයාගේ එඩි නොමින් වඩන කාව්‍යයකි. (කව්සිළුමිණ පෙළගැස්‌ම) මාර්ටින් වික්‍රමසිංහ ශුරීන්ට අනුව කව්සිළුමිණ කථා ශරීරය අතින් එකම සිංහල කාව්‍යයක නොදක්‌නා ලැබෙන තරම් සපිරුණු සිත් ගන්නා එකකි. (සිංහල සාහිත්‍යයේ නැඟීම) ආචාර්ය පුංචි බණ්‌ඩා සන්නස්‌ගල ශුරීන්ට අනුව සිංහලයේ අසමසම මහා කාව්‍යය කව්සිළුමිණයි. "ඇත්තෙන්ම කව්සිළුමිණ සිංහලයාට ආඩම්බර විය හැකි චූඩාමාණික්‍යක්‌ම වෙයි...." මෙසේ පවසනුයේ මහචාර්ය ඇම්.බී. ආර්යපාල ශුරීන්ය. (කව්සිළුමිණ ආරියපාල සංස්‌කරණය)
විශුද්ධි මාර්ග සන්නය, වනමිණිස මහා සන්නය, දෙවැනි පැරැකුම්බා මහ රජතුමාගේ අනෙකුත් කෘති අතර වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017