මයුරපාද හිමි
 

........එකල රජ පා මේ පූජාවලිය දැක දැක දෙවන රජයක්‌ ලදුවා සේ උදාර වු සන්තෝෂයෙන් පිනා දෙපොයක්‌ මුළුල්ලෙහි අනෙක්‌ රාජ්‍ය ක්‍රියාවක නෙයෙදී සිත් එකඟව අසා බුදුන්ගේ අපිරිමිත වු ගුණයෙහි පැහැද රාජ්‍ය පුදාපියන තරම් උදාර වු සන්තෝෂයෙන් යෙදී පොත ලක්‌දිව නොයෙක්‌ ප්‍රඥාවන්ත ජනයන්ට පෑ බිසොව්ලවා මඟුලැති පිට තබා සේසත් හා සමග නුවර නොයෙක්‌ පූජායෙන් උත්සවකරවා බොහෝ කලක්‌ ඇසූ ඇසූ ශ්‍රද්ධාවන්තයන් මෙහි ආරද කරන සේ බුදුන්ගේද මේ කීර්ති ශරීරය ස්‌ථාවරකොට නොයෙක්‌ සත්කාර කළහ. (34 වන පරිච්ඡේදය)


මේ, ෙපොත කියවා බැලූ දෙවන පැරකුම්බා මහ රජතුමාණන් මහත්සේ ප්‍රබෝධයට පැමිණ මංගල හස්‌ති රාජයා පිටතබා පෙරහරින් වඩමවා අනේක විධි පුද පූජා පවත්වා දෙපොයක්‌ මුළුල්ලෙහි පිදූ අයුරු කියා පෑ අයුරුයි......මහරජතුමෙකු මෙපරිද්දෙන් පිදූ එකම සිංහල මහා බණ පොතද මෙයයි. එය අනෙක්‌ කෘතියක්‌ නම් නොවේ. මයුරපාද හිමියන් විසින් රචිත පූජාවලියයි.


පූජාවලිය දඹදෙණි යුගයට අයත් ගද්‍ය ග්‍රන්ථයකි. මයුරපාද පරිවේනාධිපති බුද්ධපුත්‍ර හිමියන් විසින් "ඉතිපිසෝ භඟවා අරහං" ආදී පාඨයේ කියැවෙන නව අරහාදි බුදුගුණ අතුරෙන් "අරහං" යන බුදු ගුණය පාදක කොට ලියා ඇත්තකි. කතුවරයාම පවසන පරිදි තමා පූජාවලිය ලියන ලද්දේ බෝධි සත්ව පාරමිතාවේ උසස්‌කම විදහා බුදුවීමේ ප්‍රාර්ථනාව මුදුන් පමුණුවා ගැනීමට දෙවන පැරකුම්බා රජු උත්සාහ කරවීමත් සත් පුරුෂ ජනයාගේ ශ්‍රද්ධා බුද්ධිවර්ධනයත් පිණිසය. පොත ලිවීම සඳහා ආරාධනා කරණු ලැබ ඇත්තේ දේව ප්‍රතිරාජ අමාත්‍යවරයා විසිනි.


පූජාවලිය යන ග්‍රන්ථනාමයෙන් ලැබෙන නානාවිධ සත්කාර සම්මාන පූජානම් ආවලිය යනු පද්ධතිය හෙවත් සමූහයයි. පූජා පෙළකට හෝ සමූහයකට හෝ පූජාවලිය යන නම යෙදේ. පූජා ආමිස හා ප්‍රතිපත්ති යනුවෙන් දෙයාකාර වේ. සනරාමර වු ලෝකයාගෙන් බුදු පියාණන් ලද මෙකී පූජාවන් එක්‌තැන් කොට ඒ පූජාවන් ලැබීමට සම්මා සම්බුදු පියාණන් සුදුසු වු සැටිත් බුදු පියාණන්ගේ අතුල්‍ය වු ගුණ සමුදායත්, අගය කළ නොහැකි අසමසම චරිතයත් මෙකී ග්‍රන්ථයෙන් විස්‌තර වේ. එහෙයින් පූජාවලිය යනු බුදු සිරිතයි.


පූජාවලිය පරිච්ඡේදයේ 34 කින් යුක්‌තය. සෑම පරිච්ඡේදයක්‌ම අවසන් කරන්නේ බුදුරජාණන්වහන්සේ පූජා විදීමට සුදුසු බැවින් "අරහං" යන්න කියැවෙන.......


"පූජා විසේසං සහ පච්චයෙහි
යස්‌මා අයං අරහති ලෝකනාථෝ
අත්ථානු රූපං අරහන්ති ලෝකෝ
තස්‌මා ජිනො අරහති නාම මේතං
යන විශුද්ධි මාර්ග පාඨයෙනි"


පූජාවලිය බුදුසිරිත එළි දැක්‌වීමක්‌ බව ඉහතද සදහන් කළෙමි. සිංහලයේ බුදුසිරිත සිය කෘතීන් සඳහා වස්‌තු විෂය කරගත් පළමුවැන්නා මයුරපාද හිමියන් නොවේ. මෙහි දැක්‌වෙන ප්‍රසිද්ධ කතා වස්‌තු මීට කලිනුත් සිංහල පොතපතෙහි ඇතුළත් විය. විස්‌තර කෙසේ වෙතත් එහි දැක්‌වෙන ප්‍රසිද්ධ කථා කීපයක්‌ම ගුරුළුගෝමි මෙන්ම විද්‍යා චක්‍රවර්තීන් විසින්ද සිංහල ජනතාව හමුවෙහි තබා ඇත. එහෙයින් එම කතා සිංහල බෞද්ධ උවැසි උවැසියනට ආගන්තුක වස්‌තු නොවීය.


එසේ වුවද මයුරපාද හිමියන්ගේ පූජාවලිය අසන්නන්ගේ ප්‍රසාදය මෙන්ම ආදරයටද, ගෞරවයටද පාත්‍රවන අයුරින් නවමු ස්‌වරූපයක්‌ ගෙන ඇත්තේ ශාන්ත රසය ඇවැසි තැන ශාන්ත රසය ජනිත කරවන හෙයිනි. බුද්ධ භක්‌තිය දැනවිය යුතු තැන උපහාසය ජනිත කරවන හෙයිනි. අපි මොහොතකට මයුරපාද හිමියනට සවන් දෙමු. ඒ සඳහා 10,11 ශ්‍රේණියේ සිංහල සාහිත්‍යය සංග්‍රහයට ඇතුළත් කර ඇති ඉසිපතනාරාම පූජා කථාව නිදසුන් කොට ගනිමු.


මේ උපක ආජිවකයා බුදුන් දැක සිත් පැහැදී කථා කරන අයුරුයි. එය ශාන්ත රසය දක්‌වන සුළුය.
"ස්‌වාමිනි තෙපි නිශ්චල වු ගුණ මිහිකතගෙන් ගතුද, ස්‌ථිර වු ගුණ ඝනරන් මෙරන්ගතුද, ගැඹුරු වු ගුණ මහ මුහුදින් ගතද සොමි ගුණ සඳ මඬලෙන් ගතුද අමා පිඩක්‌ වැනි කෙනෙකුව මහපින් පිඩක්‌ වැනි කෙනෙකුව ඝන රන් කඳක්‌ සේ සොඳ කෙනෙකුව ශක්‍රයා නම් අමාපිරි බදුනක්‌ සේ සන්තෝෂයෙන් ඉතිර ඉතා ප්‍රසන්නය හිමි! තෙපි කවුරුන්දැයි විචාළේය."


මේ මහළු ආජීවකයා ගිහිව ජාවි නම් තරුණිය විවාහකර ගැනීමෙන් අනතුරුව පත්වන තත්වය කියාපාන අයුරුය. උපහාසය දනවන සුළුය.


"එකල ජාවී ඔහුගේ බස්‌ අසා 'මෝහට මා කියන බස්‌ ප්‍රිය නොවන වන, මොහු ජරපත් මහල්ලා නිසා යෞවන පුරුෂයෝ මාකරා නොඑළැඹෙති. මෝහට නොයෙක්‌ කන්කටුළු බස්‌ කියා බැණ මොහු පළවා පියා සිත් සේ වෙසෙමි' යි සිතා එතැන් පටන් දවසින් දවස පුතු තොමෝම හඬව හඬවාලා පුතු නලවන ව්‍යාජයෙන් මස්‌ වැද්හුගේ පුත නොහඬ කත් අදනා සුමයාගේ පුත නොහඬ, මුඩයාගේ පුත නොහඬ. කෙළ තොල්ලාගේ පුත නොහඬ  යනාදී කිය කියා මෝහට බැණ එකාවනුව ලැජ්ජා කරවයි.


පූජාවලිය පාලි ග්‍රන්ථයක සිංහල අනුවාදයක්‌ නොවේ. කතන්දර කීමට සුදුසු භාෂා රීතියක්‌ මයුරපාද හිමි යොදා ගනී. එය බොහෝ දුරට මිශ්‍ර සිංහල භාෂා රීතියකට නෑකම් කියයි. ඇතැම් තැනක ස්‌වරයෙන් හා පදමාලාවෙන් බුත්සරණේ එන භාෂා විලාසය ගනු ලබයි.


අමාවතුර, බුත්සරණ සද්ධර්මරත්නාවලිය මෙන් පූජාවලි රචනා ශෛලියක්‌ මේ යැයි වෙසෙසින් සඳහන් කළ නොහැකි වූවත් මයුරපාද හිමියන් බස මනාව හුරුබුහුටිව හසුරවනු ලබයි.


මයුරපාද හිමියන් සැකෙවින් කියනවාට වඩා විසිතුරුව කීමට කැමැත්තක්‌ දැක්‌වීය. එහෙයින් ගුරුළුගෝමිනට වඩා මයුරපාද හිමියන් ළංකළ හැක්‌කේ විද්‍යාචක්‍රවර්තින්ටය. විද්‍යාචක්‍රවර්තී මෙන්ම හෙතෙම විස්‌තීරණ වාග් විලාශය ප්‍රිය කළේය.


මෙම නිදසුන ඔබට 7 වන ශ්‍රේණියේදී නියමිත පූජාවලියෙන් උපුටා ගැණුන ජීවක මහිමයෙනි,....ජීවක ලාබාල වෛද්‍යවරයෙකි. එහෙත් වෛද්‍යවත්තියෙහි කෙළ පැමිණියෙකි. මෙතෙක්‌ බොහෝ වෛද්‍යවරුන් පැමිණියද සිටු දේවියගේ හිසරදය සුවකළ නොහැකි විය. එහෙයින් මේ ලාබාල වෛද්‍යවරයා සිටු දේවිය ප්‍රිය තුට්‌ටුවකටද මායිම් නොකරයි. බලනු මැවි.


"..............සිටු දේවි එපවත් අසා ජීවකයන්ගේ වයස්‌ විචාරා බාල දරුකෙනෙකැයි අසා සිනාසී දඹදිව ප්‍රසිද්ධ ආචාරිවරහු අවුත් මා ඇසිල්ලකුත් නිඳවාපිය නුහුණුවහ. කිරි බොන තරම් බාල දරුකෙනෙක්‌ කුමක්‌ කෙරෙද්දැයි කියා තමන් බඩසා වුවහොත් බත්ලවාගෙන කන්ට කියව. අනික්‌ කිසි අපාසුවක්‌ ඇත්නම් ඉල්ලාවගෙන කන්ට කියව. නන් නො දොඩා ආපස්‌සෙහි යන්ට කියවයි කියා යැවූහ..."
පෙනේද ජීවකයන් අවප්‍රමාණය කළ තරම, මයුරපාද හිමිගේ වාග් විලාශයට මෙම නිදසුන පමණක්‌ වුවද නොසෑහේද?...සෑහේමය.


විද්‍යාචක්‍රවර්ති වඩා හැඟිම්බර භාෂාවක්‌ නොතිබුණද උපමා අලංකාර යෙදීම අතින් ඒ තරමට දක්‌ෂ නොවුවද සුඛනම්‍ය ව්‍යක්‌තියෙන් යුතුව භාෂාව ව්‍යවහාර කිරීම අතින් මයුරපාද හිමිහු බොහෝ විට විද්‍යාචක්‍රවර්තීන්ද ඉක්‌මවා යති. යනුවෙන් කේ. ජයතිලක සිය සිංහල කතා කලාවේ විකාශනයේ සඳහන් කරන්නේ එහෙයින් විය යුතුය.


මයුරපාද හිමියන් ගැමි ව්‍යවහාරෝචිත උපමා ප්‍රස්‌ථාව පිරුළු උපයෝගි කොටගනී. මේ නිදසුන් 10-11 ශ්‍රේණි වලට නියමිත ඉසපතනාරාම පූජාකතාවෙනි.......සන්සුන් ගමනින් වඩින බුදුරදුන් දැකීමෙන් ප්‍රසන්න වන උපක ආජීවකයා උපමා කටනුයේ සඳරැස්‌ දුටු කුමුදු විලකටය.....ගිහි ජීවිතයේ දහසකුත් එකක්‌ දුක්‌විද යළිදු බුදුරදුන් දැකීම උපමා කරනුයේ ඝර්මකාලයක අමාවිලෙක ගැලෙන්නෙකුටය. දම්සක්‌ සුතුර දෙසන වේලාවේ වු නිහඩ බව උපමා කරනුයේ රළ නැති මුහුදකටය. සුදුසු තැන්හි ගුණ පද සමූහයක්‌


එක විටම කියා ගෙන යෑමේ ධර්මදේශනා විලාශයේ ස්‌වභාවය පූජාවලියේ දක්‌නට ලැබෙයි. පොදු ජනයාට ප්‍රිය වු සෘද්ධිප්‍රාතිහාර, පූජා පෙළහර අශ්චර්යමත් ගුණ වර්ණනා පූජාවලියේ බෙහෙවින් දක්‌නට ලැබේ. එසේ වුවද මිනිසුන් කෑ බී හැටි, ජීවත් වු අයුරු සුහද තොරතුරු උචිත තන්හි බහා ලීමට අමතක නොකරයි. තැනට සුදුසු අයුරින් ජාතකකථා ගෙනහැර දක්‌වයි. නිදසුන් කොට ගනියි.


බුද්ධ භක්‌තිය දනවන අයුරින් ගෙන එනු ලබන වර්ණනා පාඨක සිත්, ශ්‍රාවක සිත් වසී කරවන සුළුය. මේ සියළු තත්වයන් හේතු කොටගෙන පූජාවලිය යුහ යුග ගණන් ශ්‍රද්ධාවත් බෞද්ධ ජනතාවගේ ගෞරවයට පාත්‍ර විය. පාත්‍ර වෙමින් පවතී. දෙවන පැරැකුම්බා රජු දෙපෝයක්‌ මුළුල්ලේ අපරිමිත භක්‌තියෙන් යුතුව රාජ්‍යයෙන් පුදනු ලැබූ මෙම කෘතිය අදද ශ්‍රද්ධාවත් බෞද්ධ ජනතාවගේ, උවැසි උවැසියන්ගේ ආදරයට, ගෞරවයට, භක්‌තියට පාත්‍ර වෙමින් පවතී.

(c) Shilpa Sayura Foundation 2006-2017