එහි බස සරලය. සුගමය. රසාලිප්තය. කථා කිරීමට උචිතය. උපමාවෙන්, රූපකයෙන්, ගැමි පිරුළෙන් පිරිපුන්ය. කථා රසයෙන් අනූනය. නාට්‍යචෝචිත අවස්‌ථා බහුලය. ගැමි දිවියේ කැටපතක් වැනිය. මේ කෘතිය අනෙකක් නම් නොවේ. දඹදෙනි සාහිත්‍ය පමණක් නොව මුළු සිංහල සාහිත්‍යම අමරණීයත්වයට පත් කළ ධර්මසේන හිමියන්ගේ සද්ධර්මරත්නාවලියයි. සද්ධර්ම නැමැති මිණිකැට අමුණන ලද "මාලය" නැමැති අරුතැති සද්ධර්මරත්නාවලිය හෙවත් සදහම් රුවන්වැලයි.
"සද්ධම්මට්‌ඨති මිච්ඡන්තෝ - ධම්මසේන යතිස්‌සරෝ ආකාසිං පවරං ඒතං - සද්ධම්ම රතනාවලිං"
මේ සද්ධර්මරත්නාවලී කතුවර හිමිපාණන් තමා කවුරුන්දැයි හදුන්වා දුන් අයුරුයි. ඒ අනුව මෙහි කතුවරයා ධර්මසේන නම් හිමි නමකි. අපි මොහොතකට ධර්මසේන හිමියන් සමඟ දොඩමළුවෙමු......අවසරයි. ස්‌වාමිනි කුමක් සඳහා මෙවැන්නක් කළේද? කුමක් සඳහා මෙවන් සද්කාර්යක නිරත විනිද?
"..............බුදු දහම මෙලොව චිරාත් කාලයක් පවත්වා ගෙන යාමේ කාර්යය සපුරාලනු වස් ජනයාගේ සිත් සතන් ධර්මයෙහි පිහිටුවන ලද අදහසින් ම කරන ලද්දේ වෙයි......."
"........නුවන් මදවත් කුසල ඡන්දය ඇතිව ධර්මාභියෝගයට උපදෙස් ලදින් බණ දැන පිංකමෙහි හැසිර නිවන් සාදා ගනිත්නම් එසේ වු සත් පුරුෂයනට වැඩ සඳහා සද්ධර්මරත්නාවලී නම් මේ ප්‍රබන්ධය කරම්හ......."
මේ නම් සත්‍යයක්‌මය, ධර්මසේන හිමියන් හැම කථාවස්‌තුවක් අවසානයේදීම ඒ බව සනාථ කරනු ලබයි. අපි අ.පො.ස. (සා.පෙ.) 10,11 ශ්‍රේණි විභාගයට සිංහල නිර්දේශයට අයත් සිංහල සාහිත්‍යය සංග්‍රහයේ එන නන්දමහ තෙරුන් වහන්සේගේ කථා වස්‌තුව දෙසට හැරෙමු.
"තවද අනුශාසනා නැතිවීමෙන් ආදි වශයෙන් පටන් ගෙන වත්මන් සිද්ධිය සවිස්‌තරව දක්‌වා ඉකුත් වත ද වදාරා අවසනැ මෙසේ සඳහන් කරනු ලබති. ...." එහෙයින් නුවන් නැත්තවුන් විසින් පවත්නා අකුසලින් දුරුව භාවනා කුසල් පිහිටා තදංගාදි වශයෙන් මිනිස් සිත් සතන් පිරිසිදු කටයුතු"
එහෙයින් මේ නම් අවිද්‍යාවෙන් මෝහයෙන් වෙලී සසර සැරිසරණ බුද්ධියෙන් හීන ජනතාවට දහම් අවබෝධ කරවා සුමගෙහි පිහිටුවා ඔවුන් සසරින් එතෙර කරවීමේ පරහිතකාමි අදහස පෙරදැරිකරගෙන කරන ලද්දක්‌මය.
අනෙක මේ නම් කිසිවෙකුගේ ආරාධනයෙන් හෝ හුදෙක් තම පාණ්‌ඩිත්‍ය හුවා දැක්‌වීමට හෝ කරන ලද්දක් නම් නොවේ. හුදෙක් යතිවරයකු විසින් තමන්ගෙන් ඉටුවිය යුතු මෙහෙය යුතුකමක් සේ සලකා ලෝකයා කෙරේ මෙත් සිතින් නිස්‌සරණ ධ්‍යාශයෙන් කරන ලද්දක්‌මය.
මෙම කෘතිය ධම්ම පදටඨකතාව ඇසුරින් කරන ලද්දකි. ධම්මපදය ත්‍රිපිටකය තුළ විසිර පවත්නා පුද්ගල චරිත සිද්ධි පාදක කරගත් උපදේශාත්මක අගයෙන් යුතු ගාථා සංග්‍රහයකි. ධම්මපදටඨ කතාව එම ධම්ම පදයෙහි එන ගාථා විස්‌තර කරනු පිණිස ඉදිරිපත් කළ ගාථා වලින් සමන්විත වේ.
එහෙත් සද්ධර්ම රත්නාවලිය ධම්ම පදටඨකථා වේ පදානුගත පරිවර්ථනයක් නොවේ. වැකියෙන් වැකිය පදයෙන් පදය ගෙන සිංහලයට නගන ලද්දක් නොවේ. ඒ බව අප යතිවරයාණන් නිහතමානීව ප්‍රකාශ කරනු ලබන්නේ මෙසේය........පාලි ක්‍රමය හැර අර්ථ පමණක් ගෙන අප කලා වු ප්‍රබන්ධයෙහි ක්‍රම විලංගනාදි අඩු වැඩි ඇතොත් ඒ නොසලකා......
මේ නම් සත්‍යයක්‌මය. ඒ සඳහා සද්ධර්මරත්නාවලිය තුළින් කොතෙකුත් නිදසුන් ගෙනහැර දැක්‌විය හැකිය. එහෙත් ඔබ දැනුවත් කිරීමේ අටියෙන් එක් නිදසුනක් පමණක් මෙහිලා ගෙනහැර දක්‌වමි.
ධම්ම පදටඨකතාවේ දේවදත්ත වස්‌තුවේ එන..... පඨමං වෙත්තං කසා පෙතබ්බානි ආදි නං සංවච්චරේ සංවච්චරේ කතබ්බ කිව්වං සුත්වා..... යන්න හෙළ බසට නගන්නේ එය තවදුරටත් විස්‌තාරණය කොට පාඨක සිත් ඇද බැඳ ගන්නා අයුරිනි. බලනු මැනවි.
".........ඒ කර්මාන්ත නම් කවරේදැයි විචාරා පළමු කොට කුඹුරු ගෙවිඩිය යුතුය. ඉක්‌බිති බිම් නැගිය යුතුය. පසුව දෙසි සෑව යුතුය.
මියර කෙටිය යුතුය. කල්ලම්කට යුතුය. ගොයම් රෝගයට කෙම් කළ යුතුය. ගොයම් පැසී ගිය කළට දා මැඩ වී අටු කොටුවල ලිය යුතුය. දවා හෙළිකළ යුතුය. වපුල යුතුය....මේ කර්මාන්තයේ කෙළවරක් නොපෙනේ. යනුවෙනි.
හුදෙක් ධම්ම පදට්‌ඨ කතාවේම හිර වී ඊටම සීමා වී කටයුතු නොකරීමටද ධර්මසේන හිමියන් වගබලා ගත්තේය. එහෙයින් ඇතැම් තැනකදී ඉන් බැහැරව සිය පරමාර්ථයට සරිලන වෙනත් කථා වස්‌තුද ඇතුළත් කරණු ලැබීය. මේ කථා සංග්‍රහයේ ධම්ම පදට්‌ඨකතාවේ එන කථා වස්‌තු අතරට ඉන් බැහැරව සූවිසිවිවරණ වස්‌තුව සතාගිර හේමවත වස්‌තුව වැනි කථා බහාලූයේ එහෙයිනි. එසේ බුද්ධ වංශයෙහි ඇතැම් කථා උපුටා ගත්තේ දීඝ නිකායෙනි. සුත්ත නිපාතයෙනි. ප්‍රේත වස්‌තුවෙනි.
මේ කුමන කතාවක් කුමන තැනකින් උපුටා ගත්තද ධර්මසේන හිමිපාණන් අත්හළ යුතු කොටස් අත්හරී. එකතු කර ගත යුතු කොටස් එකතු කර ගනී. එහෙයින් මේ නම් පරිවර්ථනයක් නොවේ. අනුවාදයක් ද නොවේ. එසේ නම් මේ තව සිතැඟි අනුව අඩු-වැඩි කොට තම නිර්මාණ ශක්‌තිය මුසුකොට කරණු ලැබූ ඡායානුවාදයක්‌ම වේ.
මේ සඳහා ධර්මසේන හිමියන් කථා රසයෙන් අනූන රසාලිප්ත සරල බවින් යුතු ධර්මසේන හිමියන්ටම ආවේණික වු ස්‌වයංකල්පිත වාග් ප්‍රපංචයක්‌ම යොදා ගනී. ධර්මසේන හිමියන් තරම් උපමා භාවිතයේ සමත් වෙනත් එකද ගත්කතුවරයකු සිංහල සාහිත්‍යයේ නොවූ විරූය. කියන්නට ඇති දෙය සරල උපමාවකින් පැහැදිළි කිරීම ධර්මසේන හිමියන්ගේ සිරිතය. එපමණක් නොව ධර්මසේන හිමියන්ගේ උපමා සරලය. අපූරුය. තැනට සුදුසුය. සද්ධර්මරත්නාවලියේ එන දහසකුත් එකක් එවන් උපමා අතරින් සමහරකි. මේ.
"බිම තෙමා වස්‌නා මහා වැස්‌සක් සේ"
"ඇඝූලකින් තඝ මලකඩ නැති වන්නා සේ"
"නියං සමයක හඬන අහසක් මෙන්"
"නුග ගස මහත් වුවත් නුග ඵලය කුඩා වන්නා සේ"
"අකුරු ලියන්න නොදන්නා කෙනෙක් පත්වල ඉරි අඳින්නා ස්"
"පය බරවායට පිටිකර බෙහෙත් බඳින්නා සේ"
"ඇස් සරසන්නට තොල අඳුන් ගාන්නාසේ"
තමා තෝරාගත් කථා වස්‌තු වලට දඹදිව පසුබිම් වුව ද එම චරිතවලට ජීවය කඩා ඇත්තේ තමා ජීවත් වු ලක්‌දිව තම අවට පරිසරයෙනි. සමකාලීන සමාජ තොරතුරු මෙතරම් ගෙන එනු ලබන වෙන එකද කෘතියකවත් සිංහලයේ නොමැති තරම්ය.
සද්ධර්මරත්නාවලියෙන් පිළිබිඹුවන සමාජය ධර්මසේන හිමියන් විසූ සමාජයයි. ඉන් පිළිබිඹුවන වට පිටාව උන් වහන්සේ විසූ වට පිටාවයි.
අපි මොහොතකට 10-11 ශ්‍රේණියට නියමිත සිංහල සාහිත්‍යය සංග්‍රහයට සද්ධර්ම රත්නාවලියෙන් ගෙන ඇතුළත්කර ඇති ඇති නන්ද මහ තෙරුන් වහන්සේගේ වස්‌තුව වෙත අවධානය යොමු කරමු. මන්ද? ඒ ඔබට වැඩදායි වන හෙයිනි. ඵලදායි වන හෙයිනි.
නන්ද මහතෙරුන් වහන්සේගේ කතා වස්‌තුවේ දැක්‌වෙන්නේ අප කවුරුත් දන්නා මහා ප්‍රජාපතී ගෝතමී පුත්, සිදුහත් කුමරුගේ සොයුරු නන්ද කුමරා පිළිබඳ කතා පුවතයි.
එහෙත් එම පුවත කෙතරම් සිත් ගන්නා අයුරින් ඉදිරිපත් කරනු ලැබුවේද යත් අලුතින්ම අසනු ලබන කතාවක් ලෙස නැවුම් සුවඳ හමන නවතම නිර්මාණයක් ලෙස ඉදිරිපත් කිරීමට ධර්මසේන හිමියන් සමත්ව සිටී.
පාත්‍රයද ගෙන බුදු රජාණන් වහන්සේ පසුපස සිතින් නොසිතන් යන නන්ද කුමරුන්ගේ ස්‌වභාවය ධර්මසේන හිමියන් කියා පෑවේ මෙසේය........
"නන්ද කුමරුද බුදුන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් පාත්‍රය හැරගෙන මැනවැයි නොකියා රජගෙන් වඩනා ගමන හෙයින් හිණ හිස කෙරේද හැරගන්නා සේකැයි සිතුහ. බුදුනු එතනදීත් පාත්‍රය හැර නොගත්සේක් හිණි පාමුලදී හැර ගන්නා සේක්‌වනැයි සිතා යන කලට එතනදීත් හැර නොගන්නා රඳනු කැමතිවත් අභිප්‍රායකින්ම නොව බුදුන් කෙරෙහි ගෞරවයෙන් පාත්‍රය හැරගත මැනවැයි කියාගත නොහී මෙතනදී හැර ගන්නා සේක. මෙතනදී හැරගන්නා සේක්‌වැයි සිතාම නොසිතන් ගියත් සිතින්ම සසර ගමනින් පවත්නා හෙයින්මය"....
.....මේ නම් නිර්මාණාත්මක හැකියාවමය. නිර්මාණාත්මක කුසලතාවමය. ආඛ්‍යාත ස්‌වරූපය පැරැණි ගත්කතුවරයනට, සම්භාව්‍ය ලේඛකයිනට ආවේණික ලක්‌ෂණයකි. එහෙත් ධර්මසේන හිමියන් හැකි සෑම
අවස්‌ථාවකම සංවාද හා දෙබස් යොදා ගනු ලබයි. මේ සංවාද සටහන තව්තිසා දෙව් ලොවේදි දෙවඟණන් පෑමෙන් අනතුරුව බුදුරදුන් හා නන්ද තෙරුන් අතර වු කතා බහෙනි.
"කුමක්‌ද, නන්දයෙනි රුවින් වු කලී මේ දෙවඟනෝ යහපත්තුද නොහොත් දනවුකලණ බිසව් යහපත්දැයි විචාල සේක."
"ස්‌වාමීන් කුමක් වදාරණ නිසාද? මේ දෙවඟණන් දුටු කළට ඒ දනවුකළණ බිසව් නම් අතුරු මඟ නවදැලි සේනේදී අප දුටු දාවක ගැසීගිය වැඳිරිමෑල්ලක් වටිත්දැයි කී සේක." මෙම සංවාද ශීලි බස කතාවේ සාර්ථකත්වයට බෙහෙවින් බලපා ඇත.
අපි මීට පෙර සමස්‌තයක් වශයෙන් ගෙන ධර්මසේන හිමියන්ගේ උපමා කෞශල්‍ය ගැන කතා කළෙමු. එය කෙතෙක් දුරට සාර්ථක ද ? ප්‍රායෝගික ද ? යන්න නන්ද මහ තෙරුන් වහන්සේ ගේ කතාව ඇසුරෙන් විමසමු. මන්ද ? සද්ධර්ම රත්නාවලිය සම්බන්ධයෙන් එන කිසිදු ප්‍රශ්නයකදී එතුමාගේ උපමා කෞශල්‍ය බැහැරකර පිළිතුරු සැපයීම උගහට කරුණක් වන හෙයිනි.
බුදුරදුන් විසින් මහා ප්‍රජාපතී ගෝතමිය සෝවාන් කරවීම ධර්මසේන හිමියන් උපමා කරණුයේ ....පූ තන කිරෙහි (බිවු කිරිවල) කිරි මිල ගෙවා දැමීමකටය"
බුදුරදුන් පසුපස යන රහල් කුමරුන් උපමා කරනුයේ...."සඳ හා කැටිව නික්‌මුණු නකත්තරුවකටය"
බුදු වීමට දුෂ්කරක්‍රියා කරන සමයේ දෙවියකු විත් එතුමා මියගිය බව සුදෝවුන් රජුට සැලකර සිටී. එහෙත් සුදෝවුන් රජු එය පිළිනොගනී. එය සද්ධර්මරත්නාවලී කතුවරයා උපමා කරනුයේ...මපුතණුවෝ කලට පිපෙන මල් පිපී මුත් නො නවත්නා සේ බුදු වූවොත් මුත් නොමියෙතියි...යනුවෙනි.
බුදුරදුන් සමඟ යන නන්ද කුමරුන් දකින ජනපදකළ්‍යාණිය හිස සෝදමින් සිට නොනිමි හිසකේ නොබැඳ වහා අවුත් "ගියත් මස්‌සිනේ වහා එවයි" කියූ වදන නන්ද කුමරුගේ හදවතේ ගැඹුරුම තැනට වැදුණි. එය මෙම කිවියතිවරයාණන් උපමා කරනුයේ වයති පෙම් නැමැති දිවුළුලාටු මුසුකොට සිත නමැති බිතක ඇදලු සිත්තමකටය.
නන්ද තෙරුන් වහන්සේ දෙව්ලොවට රැගෙනගොස් ජනපද කල්‍යාණිය ගැන තිබූ අදහස වෙනස් කිරීම උපමා කරණුයේ බලවත්වන ලෙඩකට බෙහෙතදී සන්සිදුවීමකටය....උපමා යෙදීම් සම්බන්ධයෙන් ධර්මසේන හිමියන් පෑ හුරු බුහුටිකම් පිළිබඳව තවත් අටුවා ටිකා ටිප්පනී කුමකටද?
නන්ද මහතෙරුන් වහන්සේ පිළිබඳ අම් සභා මණ්‌ඩපයේ වු සංවාදය තුළින් අතීත කතාවටද දවස්‌ථාව අප හිමියන් සලසාගනු ලබයි. එහිදී කොටලුවාට පවුල් දිවියේ ආදීනව ධර්මසේන හිමියන් උගේ ස්‌වාමියා ලවා කියවනුයේ ජීවිතය නමැති තක්‌සලාවෙන් ලැබූ දැනුම හා අවබෝධය මත නොවේද? වන්නේමය.
අප කවුරුත් දන්නා සරල කතා පුවතක්, නග්නාකාර කතා සැකිල්ලක් ශ්‍රාවකයන් මෙන්ම පාඨකයන්ගේද සිත් අලවන අයුරින් කියා පෑ අයුරු කෙතරම් අපූරුද? අති දක්‌ෂ රූප ලාවන්‍ය ශිල්පිනියක් අතින් හැඩවැඩ වු මනාලියක් දොරට වැඩියාක් මෙන් බැලූ බැලූ අයගේ සිත් වශී කරණ පරිද්දෙන් ශ්‍රාවක, පාඨක සිත් වශී නොකළේද? කළේමය.