හෙතෙම අපිරිමිත බුද්ධ භක්‌තියෙන් පිරී ඉතිරී ගිය හදවතක් ඇති ශ්‍රද්ධාවත් බෞද්ධ පඬිවරයෙකි. මානව භක්‌තියෙන් හද පුරවාගත් හදවතට කථා කළ පාඨක ශ්‍රාවක දෙපිරිසගේම සිත් සතන් පුබුදු කළ චතුර ලේඛකයෙකි. පරිනත බුද්ධි ප්‍රභාවයෙන් ප්‍රභාවිත කලාකරුවෙකි. තත්කාලීන සමාජ රුචිය තේරුම් ගනිමින් පොදු මහජනතාවගේ සිත් සතන් පොබවන අයුරින් මියුරු සරින් සඳය නැගීමෙන් බුදු ගුණ ගැයූ කවියෙකි. හේ අනෙකකු නම් නොවේ. "අමෘතවහ" නම් බුත්සරණ සියූ විදු සක්‌විතිය. "බුදුන් සරණ යෙමියි" බුත් සරණ යා යුතු යැයි කියූ විද්‍යාචක්‍රවර්තිය.
බුත්සරණ පොළොන්නරු යුගයේ රචිත කෘතියක්‌ය. යන්න පිළිගත් මතයයි. එහෙත් ආචාර්ය පුංචි බණ්‌ඩාර සන්නස්‌ගල වැන්නන් එය දඹදෙණි යුගයේලා සලකනු ලබයි. (සිංහල සාහිත්‍ය වංශය) බුත්සරණට ග්‍රන්ථයේ කතුවරයා යොදා ඇති නම "අමෘත වහ" යන්නයි.
අමෘත සංඛ්‍යාත නිර්වාණය ආවහනය කරන්නේය. ගෙන දෙන්නේය. යනු එහි අර්ථයයි. එහෙත් සෑම කතාවක් අවසානයේ ම බුදුන් සරණ යෙමියි බුත්සරණ යායුතුය. යන පාඨය හේතුකොටගෙන මේ ග්‍රන්ථය "බුත්සරණ" යන නමින් ප්‍රකට වී ඇත.
බුත්සරණ තුළින් බුදු රජාණන්වහන්සේ නව අරහාදි බුදු ගුණ වර්ණනා කෙරෙයි. බුත්සරණ කරන ලද්දේ හුදෙක් ජනතාව කෙරෙහි ලෙහි පපු කරුණාව හේතුකොට ගනිමින් ලෝ වැඩ සඳහා අපා දුකින් දුරු කොට සසර දුකින් මුදවා අන්තිමේ දී බුදු, පසේ බුදු, මහ රහතුන් විඳි නිවන් සම්පත් අත්පත් කරදීමේ පරමාධ්‍යාශයෙනි. ඒ බව,".....සුවයෙහි මිහිර දන්නා, දුක්‌හි දැඩිකම් දන්නා, සදෙව් ලොවෙහි සැපත් අන්තයෙන් විදුනා කැමති, බුදු පසේ බුදු මහ රහතුන් විදි නිවන් පුර වැද සැනහෙනු කැමැති....ගින්නෙහි සිහිල් විදුනා කැමැති, සතුරන් මිතුරු කරණු කැමැති, තමන් වැදූ පිදූවන් අමා මහ නිවන්හි ඇරැසිටුවනු කැමැති, සත් පුරුෂයන් විසින් බුදුන් සරණයෙමි බුත්සරණ යා යුතු....යන පළමුවන පරිච්ඡේදයේ පළමුවන ශේදයෙන් පැහැදිලි වේ.
බුත්සරණේ එන කතා වස්‌තු එකම පොතකින් තෝරාගත් ඒවා නොවේ. බුත්සරණේ අන්තර්ගත කරුණු විමසන විට ත්‍රිපිටක ධර්මය විෂයෙහි කතුවරයාගේ විශද බුද්ධි ප්‍රභවය ප්‍රකටව පෙනේ. බුත්සරණ රචනයේදී දීඝනිකාය, ධර්ම පදාර්ත පරිකථා, ජාතක කතා, විමාන වස්‌තු, ප්‍රේතවස්‌තු, සුමංගල විලාසිනි, විසුද්ධිමාර්ග සන්නය, කාදම්බරී ආදී ග්‍රන්ථයන් ඇසුරු කළ කෘති අතර වේ. විදුසක්‌විතිට පෙරාතුව බුදුගුණ වැයූ ගුරුළුගෝමින් "පුරිස ධම්ම සාරතී" බුදු ගුණය වැනුව ද විද්‍යාචක්‍රවර්ති නව අරහාදි බුදු ගුණම වර්ණනා කරණු ලබයි.
බුත් සරණේ පරිඡේද සොළසකි. (16) මෙම පරිඡේද සොළොස ඡේද වශයෙන් ගත් කළ 481 ක් වේ. හැම ඡේදයක් ම අවසන් කරන්නේ "......එබුදුන් සරණ යෙමියි බුත්සරණ යා යුතු......යන වැකියෙනි.
බුද්ධ ධර්මය පිළිබඳ අන් කිසිදු ලේඛකයකුට, ගත්කතුවරයකුට නොදෙවෙනි දැනුමක් විදුසක්‌විතිතට තිබූ බව බුත්සරණ පිරික්‌සීමෙන් වටහාගත හැකිය. අමාවතුරේ එන කථා වස්‌තු බොහොමයක් විසිතුරු කොට මෙහි දක්‌වනු ලබයි. අමාවතුර මෙන්ම බුත්සරණ ද ධර්ම දේශනා ශෛලියෙන් රචිතය.
බුත්සරණ ගැන කතා කිරීමේ දී එහි සුවිශේෂ ලක්‌ෂණය වන්නේ බස හැසිරවීමය. පූජ්‍ය පාද වැලිවිටියේ සෝරත මහනාහිමියනට අනුව මෙහි පෙනෙන නෛසර්ගික පද ලාලිත්‍ය අතිශය වෛචිත්‍රපාවහය, කියන්නාගේ කනට, අසන්නාගේ කනට, සුව එලවන ලිහිල් වචනයක් තෝරා තෝරා ගැනීමේදී විද්‍යාචක්‍රවර්ති තුළ වු ශක්‌තිය අනිත් එකද සිංහල ගද්‍ය ග්‍රන්ථකාරයකු වෙත නොවීය. (බුත්සරණ සෝරත සංස්‌කරණය-පෙරවදන) ......මාර්ටින් වික්‍රමසිංහයනට අනුව බුත්සරණයෙහි බස පිරිසක් මැද මියුරු සරින් කියවීමට සුදුසු වාග් මාලාවකි. (සිංහල සාහිත්‍යයේ නැගීම) ආචාර්ය ආනන්ද කුලසූරියට අනුව බුත්සරණ සිංහලයේ අන්‍ය ගද්‍ය කාව්‍යයන්ගෙන් වෙන්කරන ලද ලක්‌ෂණ ඇත්තකි. ගද්‍යයෙන් ලියන ලද වුවද පද්‍ය පිළිබඳ සැලකෙන වෘත්ත එහි ඇත. කුඩා රළ කීපයක් එක් වීමෙන් විශාල තරංගයක් ඇති වන්නා සේ කෙටි වාක්‍යඛණ්‌ඩ කීපයක් එක්‌වීමෙන් දීර්ඝ වාක්‍යයක් ඇති වේ. එබදු දීර්ඝ වාක්‍යය මේ ගද්‍ය රීතියේ විශේෂ ලක්‌ෂණයකි. (සිංහල සාහිත්‍යය-1) ආචාර්ය පුංචි බණ්‌ඩාර සන්නස්‌ගලයනට අනුව විද්‍යාචක්‍රවර්ති තැනට සුදුසු උපමා ගෙනහැර පායි. මේ කරුණෙහිදී මේ කතුවරයා සද්ධර්මරත්නාවලීකාර ධර්මසේන හිමිටනුත් තුලා බරට සිය හපන් කම් දැක්‌වූහ.
අවස්‌ථාව ස්‌වභාවික ලෙස නිරූපනය කිරීමෙහිත් කාරණය තහවුරු කිරීමට තැනට ගැලපෙන උපමා යෙදීමෙහිත් විද්‍යාචක්‍රවර්තීන් පෑ දස්‌කම් පොත පුරාම පෙනේ. (සිංහල සාහිත්‍ය වංශය) කේ. ජයතිලකයන්ට අනුව අමාවතුරෙන් කෙරී ඇත්තේ පාලි කථා පුවත් නග්නාකාරයෙන් (ආටෝප රහිතව) සිංහලයට පරිවර්තනය කිරීමයි. එහි දක්‌නට නොලැබෙන ඕජෝ ගුණයක් බුත්සරණේ දී දක්‌නට ලැබේ. බුත්සරණේ දක්‌නට ලැබෙනුයේ ධර්ම ප්‍රදීපිකාවේ සංස්‌කෘතයට බර කොටස් වල දක්‌නට ලැබෙන යාන්ත්‍රික භාෂා ශෛලියම නොව හැඟීම් වලින් ආඩ්‍ය වුණු රචනා විලාශයකි. (සිංහල කතා කලාවේ විකාසනය)....
මේ සියළු විචාර මත වෙත විචාරක්‌ෂිය යොමු කරන විට පෙනී යනුයේ විදුසක්‌විත්තන්ගේ රීතිය ඔහුටම ආවේණික වූවක් බවය.
පරිනත බුද්ධියකින් බස හැසිර වු බවය. රචනා මාර්ගය පිරිපුන් බවය. ගීතවත් බවය. අසා සිටින්නන්ගේ අවධානය යොමුකර ගැනීමට සමත් බවය. සිත්සතන් බොදු බැතියෙන් පුබුදුවන සරල රීතියකින් යුක්‌ත බවය. බුත්සරණ ගද්‍යයෙන් ලියූ කෝෂ ග්‍රන්ථයක් වුවද එහි තැනින් තැන වෘත්ත ලක්‌ෂණද ඇති බවය. කොතෙකුත් අසා සිටියද වෙනසක් නැතිව අනායාසයෙන් සිත් සතන් පිනවන බවය. රස-භාව පෝෂණය වන අන්දමින් සහෘදයන්ගේ හදවත් වලට කතා කරුණු ලබන හදවත් පුබුදුවාලනු ලබන ආකාරයේ උචිත බවකින් යෝග්‍ය වාක්‍යය රටාවකින් යුක්‌ත බවය. පාඨකසිත දයාවෙන් පිරි සවභාවයට පත්කර චමත්කාරයක් ඇති කිරීමට සමත් බස් වහරකින් යුක්‌ත බවය.
අපි මොහොතකට බුත් සරණේ බස දෙසට යොමුවෙමු. මේ කියන්නේ ඇත්තක්‌දැයි බලමු. බලනු මැනවි. කාව්‍යයක ආත්මය වන ශබ්ද රසයත්, අර්ථ රසයත් මනා ලෙස සංකලනය කර රස ජනිත කරවන අයුරු පාඨකයා, ශ්‍රාවකයා අමන්දානන්දයට පත්කරන අයුරු ශබ්දය රසයත් අර්ථ රසයත් මනා ලෙස සංකලනය කර අවස්‌ථා නිරූපනය කරන අයුරු බුද්ධියට වඩා හදවතට කතා කරමින් ළගන්නා අයුරින් ඉදිරිපත් කරන අයුරු ...... බලනු මැනවි. මේ 11 වන ශ්‍රේණියේ දී ඔබට නියමිත නාලාගිරි දමනයෙන් උපුටා ගෙන මෙහි බහාලන මේ ඡේදය බලන්න.
"..........ඈත ධූලින් වැසී ගිය ඇත් රජයැ. මෑත සවනක් ඝන බුදු රසින් සෑදී ගිය බුදුරජාණෝයැ. ඈත කෝපයෙන් රත්වැගිය යවට වැනි ඇස් ඇති ඇත් රජයැ. මෑත කරුණාවෙන් තෙත්ව ගිය නිල්මහනෙල් පෙති පරයන ඇස් ඇති බුදු රජාණෝයැ. ඈත බැලූ බැලූවන් අනේ! අනේ!! යැයි කියැවෙන ඇත් රජයැ. මෑත බැලූ බැලූවන් සාධු! සාධු!! යි කියවන බුදුරජාණෝයැ. එවේළෙහි ඒ ඇතු ළංවත් ළංවත් සැදැහැත්තෝ ළෙහි අත් ගසන්නට වන්හ. මුහුණ අත් දෙන්නට වන්හ. බලා සැටියැ නොහෙම්මැයි මුහුණින් හෙන්නට වන්හ."
බුදු සමිදුන්ගේ උප ශාන්ත විලාශයත්, ඇතොත් ප්‍රචණ්‌ඩ විලාශයත් ඉදිරිපත් කළේ පාඨකයා ඉදිරියේ සිදුවන්නක් ලෙසිනි. භාව භාව දැන වු අයුරු කෙතරම් අපූරුද ? නාට්‍යාකාරද? නාලාගිරි ඇතත්, බුදු රජාණන්වහන්සේත් එක විට වර්ණනා කිරීමෙන් මේ දක්‌වා ඇති අවස්‌ථාව අවස්‌ථා නිරූපනයේ උපරිම අවස්‌ථාවක් ලෙස අමුතුවෙන් හදුන්වා දිය යුතු? නැත. එහෙයින් මෙවැනි අවස්‌ථා ගැඹුරුම තැනට ආමන්ත්‍රණය කිරීමත් සමාන කළ හැක්‌කේ කාටද? සැසදිය හැක්‌කේ කාටද?