ගුරුළු ගෝමි
 

සම්භාව්‍ය සිංහල සාහිත්‍යය අමරණීයත්වයට පත්කළ තරල මිණි කැටවන් මහා පඬිරුවන් අතර අග්‍රගන්‍ය පඬිවරයෙක්‌ වේද, අසදෘශ පඬිවරයෙක්‌ වේද හේ අනෙකකු නොව....ඉතිපිසෝ භගවා අරහං ආදී වශයෙන් කියැවෙන නව අරහාදී බුදු ගුණයන් අතරින් සයවැනි බුදු ගුණය වු සිංහලයේ ආදිම ගද්‍ය කාව්‍යය ලියූ ගුරුළුගෝමී ය. එකම අමාවතුරක්‌ ලියා සිය අසමාන කවිත්වය පාඨකයා හමුවේ විදහා පෑ ගුරුළුගෝමිය. ධර්මප්‍රදීකාව නම් වූ මහා බෝධි වංශ පරිකථාව ලියූ ගුරුළුගෝමිය. එකම ධර්මප්‍රදීපිකාවක්‌ ලියා සිය පාණ්‌ඩිත්‍යය ප්‍රකට කළ ගුරුළුගෝමිය.


එපමණක්‌ ද? නැත..... එතුමා විචාර බුද්ධියෙන් යුතු දුර්ලභගණයේ ලේඛකයකි. අපක්‌ෂපාතී ආදීන විචාරකයෙකි. අයෝමය ආත්ම ශක්‌තියෙන් හෙබි ප්‍රතිභාපූර්ණ කවියෙකි.


පොළොන්නරු යුගයේ ජීවත් වු මෙතුමා විසින් රචිත මුල්ම ග්‍රන්ථය ධර්ම ප්‍රදීපිකාවයි. ඒ බව ගුරුළුගෝමින් විසින් කරන ලද ධර්මප්‍රදීපිකා නම් පරුකථා නිමි යන අවසන් වැකියෙන් දැක්‌වේ. එය මහා බෝධි වංශයෙන් තෝරාගන්නා ලද පද රැසකට ලියවුණු පරිකථාවක්‌ ලෙස සැලකේ. (පරිකථා නම් වචනයක්‌ වටා කෙරෙන සවිස්‌තර සාකච්ඡාවකි) ධර්ම ප්‍රදීපිකාවේ එවන් පරිකතා ගණනින් 205 කි. තුන්මහා බෝධීන්ගේ වංශයේ සහශ්‍ර රශ්මින් විභක්‌ති පදයන් අතුරෙහි පරිකථානුකුල පදගෙන වර්ණනා කරණු ලැබේ යි......කළ සඳහනින් මෙය පාලි මහා බෝධිවංශයෙන් තෝරාගන්නා ලද පද රැසකට ලියැවුණක්‌ බව කියැවේ.


ගුරුළු ගෝමින් ධර්මප්‍රදීපිකාවෙහි අනුගමනය කළ රචනා ක්‍රමය විවිධ වූවකි. තැනෙක ව්‍යාකරණ විභාගයන් දක්‌වමින් කළ ශබ්දාර්ථ කථනයක්‌ය. තැනෙක ශබ්දයේ විවිධ ප්‍රයෝගයන් ගෙනහැර පෑම්ය. තැනෙක අදහස විස්‌තර කිරීම්ය. ඒ සඳහා පෙළ අටුවා ඇතුළු සාධක රැසක්‌ ගෙන හැර පායි. ඒ සඳහා සංස්‌කෘත පාලි ග්‍රන්ථ රැසක්‌ උපයෝගි කරගනියි.


එය පරිවර්ථනයක්‌ යැයි කීමට පවා නොහැකි ලෙස අගනා භාෂාවෙන් ලියා ඇත. ධර්මප්‍රදීපිකාවේ උපයුක්‌ත භාෂාවද සෑම තැනම එක සැටි නොවේ. හෙළ වහර ද, සකු මුසු හෙළවහරද සකු වහරද ඒ ඒ තැන වැටී ඇත. ධර්මප්‍රදීපිකාවෙන් පිළිබිඹු වන්නේ ගුරුළුගෝමින් සතු විශාරද දැනුමයි. පදයන්ගේ විවිධ අර්ථ දැක්‌වීමේලා එතුමා දැරූ උත්සාහය පොතේ සෑම තැනකම දිස්‌ වී ඇත. පෙළ අටුවාත්, බෞද්ධ සාහිත්‍යයේ සකු පොතුත් ගුරුළුගෝමින් ඇසුරු කළ තරම ධර්මප්‍රදීපිකාවෙන් දැකගත හැකිය. රචනයේ ඇති විවිධත්වය ලිවීමේ හුරුබුහුටිකම කියාපායි.


"146 දන්තපුරේ රාජාහුත්වා" යන්නට පරිකථාව සුළු කලිගුදා කථා පුවතයි. එහි විෂය ක්‍ෂේත්‍රය අතින් අනෙක්‌ කතාපුවත් වලට වඩා විශේෂයක්‌ දක්‌වනු ලබයි. මේ කාලිංග බෝධිජාතකය වුවත් එහි නොදක්‌නා යම් යම් විස්‌තර ද මීට ඇතුළත් වේ. සම්භාව්‍ය සාහිත්‍ය කෘතියක දැකිය නොහැකි මට්‌ටමේ ස්‌ත්‍රී, පුරුෂ ප්‍රේමය පිළිබඳ වර්ණනයක්‌ද මීට ඇතුළත් වේ.


එවක පැවැති විනය නීති අනුව පැවිද්දෙකු ගෙන් මෙවැනි ප්‍රේම සම්බන්ධයක්‌ මෙබදු ස්‌වරූපයෙන් විග්‍රහ කිරීම කිසිසේත් බලාපොරොත්තු විය නොහැක්‌කකි. මේ සුළු කළිගු කුමරු සඟල් කුමරිය දැක ඇගේ රූ සපුවෙන් වසී වී වර්ණනා කරන අයුරුය"........සදින් සොමිගෙන, රන් ගලින් පහන් පැහැ උකහාගෙන, වන විලින් මත්හස්‌ යුවලක්‌ ගෙන සැහැසී හනා වනා ලිය කෙසේ පුල් කල හෙයි".


ගුරුළුගෝමින්ගේ අනෙක්‌ පොත අමාවතුරයි. අමාවතුර ලියැවුණේ බුදුන්වහන්සේගේ "පුරුසධම්ම සාරතී" ගුණය විස්‌තර කිරීම සඳහා ය. "පුරිසධම්ම සාරතී" යන පදයෙන් බුදුන් වණනුයේ ඇයිද යන්න විදහා දැක්‌වීම සඳහාය. පුද්ගලයන් දමනය කිරීමෙහිලා බුදුන් තුළ වූ ශක්‍යතාව නැමැති ගුණය මෙම පදයෙන් කියැවේ. එම ගුණය බුදුන් තුළ පවත්නා බව දක්‌වනු සඳහා නා නා තරාතිරමේ පුද්ගලයන් දමනය කොට බුදුන් සරණ ගැන් වු සැටි විස්‌තර කෙරෙන කතා පුවත් තෝරාගෙන එක්‌තැන් කිරීම ගුරුළුගෝමින් විසින් මෙහිදී කරනු ලැබ ඇත. රජවරුන්, නූවටුවන්, බමුණන් ආදී මනුෂ්‍යයන් පමණක්‌ නොව නාගයින්, හස්‌තීන් වැනි තිරිසන් සතුන් පවා බුදුරදුන් අතින් මෙල්ල වු බව කියැවෙන පුවත් අමාවතුර කථා පුවත් වලින් විස්‌තර වේ.


අමාවතුරේ ඇතුළත් කථා පුවත් තෝරා ගැනීමෙහිලා ගුරුළුගෝමින් දක්‌වා ඇත්තේ මහත් දක්‌ෂතාවයකි. විවේක බුද්ධියකි. මෙහිදී එක්‌ කතා පුවතක්‌ තෝරාගෙන එම පුද්ගලයාත් තවත් එවැනිම අයත් දමනය කළ බව කීම ගුරුළුගෝමින්ගේ සිරිතයි. බුදුන්වහන්සේ සතු සෘද්ධි ප්‍රාතිහාර්යය හෝ එසේ නැතිනම් උන්වහන්සේ තුළ වු උත්තර මානුෂික ධර්ම අන්තර්ගත වන කතා පුවත් තෝරා ගැනීම ඔහුගේ සිරිත නොවීය. අන්ධ භක්‌තියෙන් යුතුව, සුරංගනා කථා වැනි බොළඳ පුවත් ඇසුරින් බුදු ගුණ වැයීම ගුරුළුගෝමින්ගේ සිරිත නොවීය. ගුරුළු ගෝමීන් හැම විටම තෝරා ගත්තේ බුද්ධිගෝචර කතා පුවත්මැයි. තර්කයෙන් ද, ස්‌ථානෝචිත ප්‍රඥාවෙන්ද ගැඹුරු චින්තනයෙන් ද මිනිස්‌ ගුණ දහම් පිළිබඳ වැටහීමෙන් ද බුදුන් වහන්සේ ඒ ඒ අයගේ සිත් දිනාගත් සැටි අමාවතුරෙන් කියැවේ.


සව්වකයා දමනය කරන්නේ තර්කයෙනි. තර්කයෙන් දුර්මත බිඳ හරිමිනි. බුද්ධියෙනි. අජාසත් රජු දමනය කරන්නේ සිත් පහදවන සුළු වු සිත බුදුන් කෙරේ නමන සුළු වු මෘදු භාෂණයෙනි. අංගුලිමාල දමනය මිනිස්‌ සිත පිළිබඳව දැන හැදින ගැනීමෙනි. අපිරිමිත කරුණාවෙනි. එහෙයින් එම පුවත් කියවා රස විඳීමට අන්ධ භක්‌තියවත් බොළඳ ශ්‍රද්ධාවත් අවශ්‍ය නොවේ.


අමාවතුරෙහි වර්ණිත දිට්‌ඨමංගලිකා වස්‌තුවට ලංකළ හැකි තියුණු දරුණු උපහාසයක්‌ සිංහල සාහිත්‍යයේ නැති තරම්ය. මාර්ටින් වික්‍රමසිංහයන් සිය මංගල සාහිත්‍ය නැගීමේදී එය හදුන්වා දී ඇත්තේ කුල ගර්වයෙන් දැපුණ වු එල්ල කරන ලද දැඩි මානය නැමැති මලකඩ උගුලන කාරමක්‌ ලෙසිනි. මෝඩ සදැහැතියන්ටද අවිචාර ලෙස බමුණන්ගේ බස්‌ අදහන රජුන්ට ද ඇමැතියන්ට ද එයින් කෙරෙන්නේ දරුණු සරදමකි. වේද මදයෙන් මත් වු බමුණන්ට එයින් එල්ල කරන ලද උපහාසය ඉතා කර්කශය. සැඩෙලෙකුගේ සෙවනැල්ල වැටුණු ළිඳෙන් දිය බීම පවා බඩ කට කිලිටිකර ගැනීමකැයි කියූ බමුණනට සැඩෙලෙකුගේ ඉදුල් අතසේදු වතුර කුලවත් බමුණනට පොවන හැටි ගුරුළුගෝමිහු වර්ණනා කරන්නේ මහත් අභිරුචියෙනි.


අමාවතුර අතිශය සාර්ථක කෘතියක්‌ වීමට එහි අසමාන රචනා විලාශය ද හේතු කාරක වේ. අමාවතුර වස්‌තුව අතින් බෙහෙවින් පාලියට නැඹුරු වු බව සැබෑය. එහෙත් එය දීනව ගැතිවීමක්‌ නොවේ. ගුරුළුගෝමිහු එක පාලි ග්‍රන්ථයක එල්බ ගෙන එය කෙලින්ම පරිවර්ථනය නොකලහ. පෙළ, අටුවා, ටිකා ආදී අටුවාටිකා ග්‍රන්ථයන්ගෙන් පාඨ උපුටාගෙන උචිත පරිදි ගලපා කතා ප්‍රවාහය නොකැඩී ගලා බස්‌නා පරිදි සකස්‌ කළහ. ගුරුළුගෝමින් හෙළ බස්‌ වහරෙහි කෙතරම් ස්‌වීයත්වයක්‌ පෞද්ගලිකත්වයක්‌ ගැබ්ව තිබේද යත් පඬුවන් විසින් එය හදුන්වන ලද්දේ කාලිංග එළුව වශයෙනි.


අමාවතුරේ බස මටසිලිටිය. සරලය, සිත් ගන්නා සුළුය. ගුරුළුගෝමිහු වාග් බාහුල්‍යයේ හෝ ශබ්දාලංකාරයන්ගේ පිහිට නොපතති. කිවයුතු දේ වචන කීපයකින් කියති. එමගින් දර්ශනීය වූ වාග් චිත්‍රයක්‌ මවති. ගුරුළුගෝමිහු සිය රචනයේ දී යොදන කෙටිවැකි, සරල වදන් පාඨකයා තුළ දනවන්නේ මහත් ආනන්දයකි. යක්‌ෂ දර්ශනයෙන් ත්‍රාසයට පත්වන සව්වකයා ගේ ස්‌වරූපය තැනට සුදුසු සේ වදන්, යොදමින් පද ගලපවමින් රසජනනය කරමින් වචන තෝරා බේරා ගනිමින් මවාපාන්නේ මෙසේය. බලනු මැනවි,


"සව්වකයා උහු දකිත්ම උත්ත්‍රාසය ඇති විය. උද්වේග ඇති විය. රෝමහර්ෂ ඇති විය. සියල් සිරුර සෙමේද වැගිරිණ. ඇතුළු කුස පෙරළිනි මහහඬින් හැඩී."

(c) Shilpa Sayura Foundation 2006-2017