ගුත්තිල කාව්‍ය 50
 

ලැදි ලියක්‌ කැකිරක්‌ දී එයින් පෙර
සැදී රුවන් පහයෙක පුරඳරා පුර
විදී කැමති සිරි සුරනිඳු සියෝ කර
මෙදී කිමැයි නො කරව සිත අනාදර


සැදැහැවත් (ලැදි) කාන්තාවක්‌ පෙර කාලයේ කැකිරි ගෙඩියක්‌ දන් දී එයින් ශක්‍ර පුරයේ අලංකාර වු මැණික්‌ ප්‍රාසාදයෙක දෙව්රජු ස්‌වාමියා කර ගෙන කැමති සැපත් විදී. මෙය දීමෙන් ඇති පලය කුමක්‌දැයි සිතින් නිගරුවක්‌ නොකරව.


ගිනිකබලක්‌ දුන් අඟනක්‌ කර අදර
පිටිවහලක්‌ කර එම ඉපිද සුර පුර
කෙළිකමලක්‌ මෙන් වුව සක්‌ දෙවිදු කර
බලකුසලක්‌ දෙන රඟ සඟ ඉසුරු කර


ආදර දක්‌වා ගිනි කබලක්‌ පිදු අඟනක්‌ ඒ දීම ම පිහිට කොට ගෙන, දෙව්ලොව ඉපිද සක්‌ දෙවිඳුගෙ අතේ නිතර ම රඳන සෙල්ලම් නෙළුම් මලක්‌ මෙන් වූවා ය. පිනක්‌, දෙවීලොවේ මහ සැපත් දෙන සැටි බලව.


සැදැහැති ලියක්‌ දන් දී මුල පලා අල
ලැබරුති රුසිරු සුර පිරිවර යසෝ බල
සුරපති සමඟ සිරි විඳි වඩ වඩා ලොල
නොකෙරෙති මෙසෙවු පල දෙන පින් තිරාකල


ශ්‍රද්ධාවන්ත වු කාන්තාවක්‌ රාබු වැනි අල වර්ගයක්‌ දන් දී මනාප වු රූප සෞන්දර්&ය, සුර පිරිවර, කීර්තිය හා බලය ලබා සුර රජු සමඟ ඇල්ම වඩමින් සැප විදී. ඇතැම්හු මේ ආකාර වූ දිගු කල් විපාක දෙන පින් නො කරති.


නැසී දිළිදු අඟනක්‌ දී කොහොඹ කොළ
නිසී තිදස පහයෙක වැස රුවන් දුළ
රුසී රුවින් පුරවයි සුරනිඳුන් දොළ
කුසී නොවව් පළ දේ ම ය කුසල් කළ


දුප්පත් කාන්තාවක්‌ කොහොඹ කොළ දන් දී මරනින් මතු සුදුසු (තිදස්‌ පුරේ) මැණික්‌ නිසා බබළන දිව්‍ය ප්‍රාසාදයක වසමින් සිත වඩවන රූප සෝබාවෙන් යුක්‌ත ව සක්‌ රජුගේ ආසාව සපුරයි. මැලි නො වව්, කළ කුසල් පල දේ ම ය.


දුන් අඟනක්‌ පෙර සඟනට ඇඹුල් කැඳ
නන් සිරිසර සුරාපායක ගොසිනිපිද
මන් පිනවන පිරිවර දෙව් සරන් ලද
ඉන් දුනමනා දන් මය සිල්වතුන් ලද


පෙර සංඝයා හට ඇඹුල් කැඳක්‌ දුන් කතක්‌ (පරලොව) ගොස්‌ නොයෙක්‌ සැපතින් සරු වූ දිව්‍ය ප්‍රාසාදයක ඉපදී සිත් පිනවන්නා වූ පිරිවර දිව්‍ය අප්සරාවන් ලද්දී ය. එහෙයින් සිල්වතුන් හමුවුව හොත් දන්දීම ම සුදුසු වන්නේ ය.


එක තල් වැටක්‌ දුන් ලිය මුනි සුතන් හට
ඇමකල් පිපෙන මල් වතු විල් සැදි අවට
මනකල් සුරිදු පුර පහයෙක වෙසෙසි තුට
නිරවුල් මෙසෙව් දන් දුන මැනවි හැම විට


බුද්ධ පුත්‍රයන් හට තල් වටා පතක්‌ දුන්නා වු කාන්තාවක්‌ ශක්‍ර පුරයේ සියලු කල්හි පිපෙන මල් වතු හාත් පසින් සැදී ඇති සිත් ඇඳගන්නා වු ප්‍රාසාදයක සතුටින් වසයි. මේ ආකාරයෙන් අවුලක්‌ නැති ව හැම විට ම දන් දීම මැනවි.


වහන් දෙකක්‌ දුන් අඟනක්‌ ඉසුරු පතා
යොදුන් උසැති පහයෙක ඉපිද පැහැ පතා
නුවන් සහස්‌ තුටුවන තුනු රුසිරු පතා
මෙවන් සැපත් දෙයි පින් කරව නිති පතා


සම්පත් ප්‍රාර්ථනා කරමින් පාවහන් යුවළක්‌ දන් දුන් කතක්‌ යොදුන් ගණන් උස ඇති කාන්තිමත් ප්‍රාසාදයක ඉපිද සක්‌ දෙවිඳු (නුවන් සහස්‌) සතුටු කරවා රුසිරු වු ශරීර ශෝභාව ලැබුවා ය. නො කඩවා පින් කරවු. මේ ආකාරයේ සම්පත්ති ලැබේ.


පින් පල අසා අඟනක්‌ දී පත් කුඩය
රන් පහයෙක ලෙළ රසු දැල් ගත් හැඩය
මන් ලෙස වෙසෙයි සෙසු අඟනක්‌ අත් මැඩය
පින් මිස අනෙක්‌ කිම කරතොත් අත් වැඩය


කාන්තාවක්‌ පින් පල අසා (කල්) පත් කුඩයක්‌ දන් දී ලෙළ දෙන්නා වූ මිණි ගෙඩි වැල්වල නාදයෙන් යුත් රන් ප්‍රාසාදයක අනික්‌ ලඳුන් තම අතයට තබාගෙන සිත් අයිරු වාසය කරයි. තමන්ට අභිවෘද්ධියක්‌ සලසනවා නම් (එ) පින් විනා සෙසු කුමක්‌ ද ?


සැකව මදක්‌ නො සිතව කීයෙමි මෙතිනි
තිදිව මෙ හැම සිරි දුටුයෙමි මගෙ නෙතිනි
තිරව එ සහ සිරි සැප ලබතොත් සතිනි
කරව කුසල් නිතර ම පිරිසිදු සිතිනි


සිතෙහි මඳකුදු සැක ඇති කොට ගෙන නො සිතවු. මෛත්‍රියෙන් පැවසිමි. තිදිව දෙව්ලොව (ශක්‍ර පුරයේ) මේ සියලු සැපත් මගේ ඇසින් දුටුයෙමි. සත්වයනි, ස්‌ථිර වශයෙන් ඒ දිව්‍ය සම්පත්ති ලබනවා නම් නිරතුරුවම පිරිසිදු සිතින් පින් කරවු.

(c) Shilpa Sayura Foundation 2006-2017