සියසිතු පැහැද අඟනක් ඇඳින පින් කෙත
පියපුතු සුවඳ දී, ගොස් පුරඳරා වෙත
සියසතු සුරඹ දහසක් පිරිවරා ගත
දියයුතු නොවන දෙය කිම සිතු සැදෑ ඇත
අඟනක් තම සිත පහදවා ගෙන පුන්‍ය ක්ෂේත්‍ර වන සඟරුවන ඇඳින තම සිත් පහදවාගෙන අකැප හෙයින් අත් හළ යුතු වු සුවඳ පූජාකොට (ද) සත් රජ වෙත පැමිණ මේ තම සතු දිව්‍යාංගනාවන් දහසක් පිරිවර කොට ගත්තාය. සිතේ පැහැදීම ඇත්නම් දීමට සුදුසු නොවන්නෝ කුමක් ද ?
එක් අඟනක් සඟනට පත් අතර මග
උක් රසයක් දුන් කුසලින් ඉපිද සග
සක් දෙව්දුගෙ මන වඩමින් වෙසෙය ළග
දුක් දුරලන බල මහ පින් කමෙක රඟ
එක් අඟනක් අතර මඟ දී හමුවූ සංඝයා (වහන්සේ) හට උක් පැණියෙන් පිදු පිනින් දෙව් ලොවේ ඉපිද සක් දෙව් රජුගේ සිත් පිනවමින් ළංව වෙසෙයි. දුක් දුරුකරන මහත් පින් කමෙක් හැටි බලව.
රන් දාගැබක පෙර අඟනක් සැදැහැ යුතු
දුන් නෙත් සුවඳ පසගුල් පහදවා සිතු
පින් සර සුරඹ දහසක් පිරිවරා ගතු
ඉන් මුනි ම ය පිරිනිවිය ද පිදිය යුතු
පෙර කල සැදැහැවත් අඟනක් සිත පහදවා ගෙන රන් ආගැබක සුවඳ පසගුල් පිදීමෙන් (සුවඳ කලලෙහි, එබූ ඇඟිලි මගින් ආගැබෙහි සුවඳ ආලේප කිරීමේ) පිනින් සරු වු දෙව් ළදුන් දහසක් පිරිවර ලැබුවා ය. එහෙයින් පිදිය යුත්තේ පිරිනිවන් පෑ මුත් බුදුරදුන් මැයි.
පැහැද දිනෙක අටසිල් රැකි පිනින් එම
ඉපිද සුරිදු පුර පසු බා සුරඝ හැම
නොමඳ ඉසුරු ලද අඟනක දිටිමි මම
නිබඳ පොහොය සිල් රැකියොත් කියනු කිම
එක් දවසක් පැහැදීම ඇති ව අටසිල් රැක ඒ පිනින් ශක්‍ර භවනයේ ඉපිද සෙසු සියලු දෙවඟනන් පසු බස්වා බොහෝ සැපත් ලැබූ අඟනක මම දිටිමි. පොහෝ දින නොකඩවා සිල් රැකියොත් කියනු ම කවරේ ද ?
උන් සඟ දැක යෙහෙකැයි දිය ලදෝතිනි
දුන් අඟනක් බොන පැන් පමණ දෝතිනි
දැන් සුරපුර බබළයි රුසිරු දෝතිනි
පින් කෙත් හැදින දන් දෙව දන් දෙදෝතිනි
දිය ටිකක් ලැබුණොත් හොඳ යැයි උන්නා වු භික්ෂුන්වහන්සේ නමක් දැක බොන්නට දිය දෝතක් පමණක් දුන් කාන්තාවක් දැන් සුර ලොව රූප ශ්‍රී කාන්තියෙන් හෝ මනහර දෑතින් යුතු ව බබළයි. දන් දෙනවා නම් පින් කෙත් හැඳින දන් දෙව.
සරොසව පරුස තෙපලන නැදි මයිලන්ට
නිරොසව පැවති අඟනක් සක් දෙවිදුන්ට
පියඹව වෙසෙයි වැඩියෙන් සෙසු අඟනන්ට
නොකිපෙව ඉන් මඳකුත් වැඩි හිටියන්ට
කෝපයෙන් පරුෂ වචන කියන්නා වු නැදිමයිලන්ට නොකිපී විසූ (නැන්දාටත් මාමාටත් උරණ නො වූ) ගැහැණියක් සක් දෙවිදුන්ට අනෙක් අඟනන්ට වැඩියෙන් පියඹුව වී වසයි. එහෙයින් වැඩි හිටියන් කෙරේ මඳක් වත් කෝප නො වවු.
පෙර එක් දසක් තම ලත් බත් බෙදාදී
ලැබගෙන නොයෙක් සුර සිරි පිරි වරාදී
කරවයි එ සක් දෙවිඳුගෙ සිත සමාදී
ලද එක් පිඩක් වත් වලඳව බෙදාදී
පෙරකල එක් දාසියක් තමා ලත් බත් බෙදා දීමෙන් පිරිවර ආදී කොට ඇති බොහෝ දෙව් සැපත් ලබා ගෙන ඒ සක් දෙවිඳුගේ සිත සන්සුන් (සතුටු) කරවයි. ලැබුවාවු එක් බත් පිඩක් වුවත් බෙදා දී අනුභව කරව.
ඉහත දී සිත පහදවා භික්ෂු සංඝයාට කිරිබතක් පිදු කාන්තාවක් සුරපුරයෙහි රන් ප්‍රාසාද හා අපමණ (නැතක්) පිරිවර ලබා ගතු ඒ කවරෙක් නම් වර්නණය කෙරේ ද ? එබැවින් සිතක් ඇති මනුෂ්‍යයෙක් දන් නො දේ ද?
උක් දඬු කඩක් සහනට දී කෙලස් දෙවී
පිළිසිඳ ළදක් සුර පහයක පිනින් මැවී
ලැබ ගතු එ දෙවිඳුට මෙහෙසුන් පදවී
තම හට වැඩක් සිතතොත් දන් දෙනු මැනවී
කෙලෙස් සෝදා හළ (රහත් වු) සංඝයා වහන්සේ හට උක් දඬු කඩක් පූජාකොට කාන්තාවක් ඒ පින නිසා මැවුණු දිව්‍ය ප්‍රාසාදයක ඉපදී ඒ සක් දෙවි රජුගේ මෙහෙසුන් පදවිය ලැබ ගත්තාය. තමාගේ දියුණුව ගැන සිතතොත් දන්දීම සුදුසුය.
තිඹිරි පලක් දුන් අඟනක් සහන දැක
ඉතිරි සැපත් ලැබ ගතු රන් විමානෙක
සපිරි එ ලද පිරිවර ලියොම දාසෙක
ඉදිරි පිහිට පින් ම ය ඉන් නො වව් සැක
සංඝයා වහන්සේ දැක තිඹිරි ගෙඩියක් දුන්නා වු අඟනක් තනි රත්තරනින් ම මැවුණු විමානයක ස්ත්‍රී සම්පත්තිය ලැබුවා ය. එ කාන්තාවගේ මුළු පිරිවර දහසකි. මතුවට පිහිට වන්නේ පින් ම ය. එහෙයින් ඒ ගැන සැක නො කරවු.