ලොවැති සියලු විසිතුරු සිරි සර අසෙකි
කැමති වුවොත් එක ගසකින් ම ලද හැකි
පැවති මෙසව් සුර පුර සිරි සැප නොයෙකි
කියති කවුරු සිතිනුත් නො ම සිතිය හැක
ලොවේ ඇත්තා වු අසංඛ්‍ය වු (ගිණිය නොහැකි වු) විචිත්‍ර වු සියලු සැපත්, කැමති වුව හොත් එක් ගසකින් ම ලැබිය හැකිය. දෙව් පුරයෙහි ඇත්තා වු සිතින් වත් නොසිතිය හැකි මේ සිරි සැප කවුරු නම් කියත් ද ?
රන් පහයෙන් එහි සත් සිය යොදුනුස ය
තුන් සිය යොදුන් දිග ලෙළ දෙන දදරැස් ය
මන් තොස වඩන සුරඟන එහි සුවහස ය
පින් කොට එකකු ලද සග සිරි මේලෙස ය
ඒ දෙව් පුරේ රන් ප්‍රාසාදයක් සත් සිය යොදුන් උස ය. ඒ පහසේ යොදුන් සියයක් දිග ලෙළ දෙන කොඩි සමූහයකි. එහි සිතට සතුට වෑඩි කරන දෙව් ලියෝ සියක් දහසකි. එකකු පින් කිරීමෙන් ලැබුවා වූ දෙව් සැපත් මේ සැටි යි.
මුනිදු කිව ද නො ගෙවෙන සග සිරි සැපත
සුරිදු ඉසුරු දැන් පවසනු කිම අනත
පසිදු නොවන එක දෙවියකු සිරි සිතත
දිළිදු බවෙක මුළු දඹදිව රජ සැපත
ස්‌වර්ගයේ ශ්‍රී සම්පත්තිය බුදු කෙනකුන් දෙසු නමුදු ඉවර නොවේ. (එබදු) අපමණ වු සක් දෙව් රජුගේ සැපත් දැන් කියන්නේ කුමට ද ?
ප්‍රසිද්ධියක් නැත්තා වු එක දෙවියකුගේ සම්පත් (ගැන සලකන විට) මුළු මහත් දඹදිව රජ සැප පවා දිළිදු බවකි.
උපන් දිනෙහි හන් සළු පැලදි දිවමලී
ඔවුන් මියන තෙක් පවතී ය දිලි දිලී
මෙවන් එ සග සිරි දෙන පින් කමට බලී
ලෙවන් ඉඳින රඟ බල නො කර ඇදහිලී
උපන් දා ඇඳගත් සළු, පැලඳ ගත් දිවමල් ද ඔවුන් මැරෙන තුරු ම බබළමින් පවතී. මෙ බඳු දෙව් ලෝ සැපත සලසන බලවත් වු පින්කම් ගැන ලෝ වැසියන් ඇදහීමක් නොකර සිටින හැටි බලන්න.
සිය'ග රැසින් එළි ලොව දස දිගත
සිතන ඉසුරු ලද දෙවියන් හට සතත
නිසඟ අනිටු අරමුණු පමණකුත් නැත
එ සග සැපත් විඳතොත් කරව පින් සිත
තම කයේ රශ්මියෙන් ලොවේ දස දිසාන්තය ම ආලෝකවත් කරමින් සිතේ හැටියට සැපත් නිරතුරුව ලැබූ දෙවියනට නිසර්ගයෙන් (නිසඟ ස්‌වභාවයෙන්) ම අශුභ අරමුණු මාත්‍රයකුදු නැත. ඒ ආකාර දෙව්ලෝ සම්පත් විඳින්නට නම් පුන්‍ය චේතනා ඇති කොට ගනුව.
පසඟ තුරින් නදයුරු මිණි කිකිණි ගොසේ
සමඟ රුවන් පහයෙන් යනෙන නුබ කුසේ
සිතඟ ලෙසින් කෙළ නළු විඳින නො කමසේ
එ සඟ සුරන් සිරි නුබුදු ව කියනු කෙසේ
පංචාංගික තුර්යයන්ගේ නාද වැනි මිණි කිංකිණි නාදය ඇති ව අහස් ගැබේ රන්මය ප්‍රාසාදයෙන් යෑම් ඊම් කරන සිතේ හැටියට නිරතුරු වම නැටුම් කෙළි රස විඳින්නා වූ ඒ ස්‌වර්ගයෙහි දෙවියන්ගේ සම්පත් බුදු නොවී කෙසේ කියහැකි ද ?
විහිදී සුවඳ හැම සඳ සැප පහස දෙන
පැළඳි රුවන බරණින් අඳුරු දුර ලන
මහිදි මහිම සුරසෙන් දිටිමි වෙසෙසින
නොවිඳි මෙවැනි සඟ සැප දද බැවිනි දන
සියලු විටම සුවඳ විහිදෙන්නා වු සුව පහස දෙන්නා වු පැළැන්දාවු මැණික් අබරණින් අඳුරු දුරු කරන්නා වු මහත් සෘධි බල මහිම ඇති දෙව් සෙන් විශේෂයෙන් දිටිමි. ජනයා අනුවණ හෙයින් මේ අයුරු දෙව් සැප නො විදී.
විසුවද ඒ සඟ සිරි නොදැනෙයි තොපට
ඇසුවයි කෙසේ දැනෙනු ද නියම කොට
තිසූ සුරඹ වෙණ වැයුමට පඬුරු කොට
දෙසූ කුසල් පමණක් ඉන් අසව තුට
(එදෙව් ලොවේ) වාසය කළත් ඒ ස්‌වර්ග සම්පත් නො දැනෙයි. එය ඇසූ පමණකින් තොපට විශ්චය වශයෙන් ම දැනෙන්නේ කෙසේ ද ? ඒ නිසා වීණා වාදනයට තුටු වු දෙව් ලියන් තුටු පඬුරු වශයෙන් දෙසූ පින් පමණක් සතුටින් අසව.
එක් අඟනක් සිවුරට දුන් වතින් සොඳ
දන් වන මෙන් පින් පල සුරඟනන් මැද
සක් දෙවිඳුගෙ මන පිනවන රුසිරු ලද
දුක් නො විඳිනා පින් ම ය කළමනා සොඳ
එක් ස්‌ත්‍රියක් සිවුරු පිණිස හොද රෙද්දක් පිදීමෙන් එහි පිනේ විපාක දෙවඟනන් මැද දී පෙන්වන්නට මෙන් සක් දෙව් රජුගේ සිත පිනවන රූපශ්‍රීය ලද්දී ය. කළ යුත්තේ දුක් නොවිදුනු පිණිස යහපත් පින් ම ය.
නිමල් සුමන මල් දමෙකින් පිදුවෙනී
ළකල් කුලඟනක් ගොස් සහ පිරිවරිනී
සියල් සිරින් පැලඹෙයි දෙව් ලොව දෙවැනි
එමල් පැලඳ ලද හැකි දෝ සැප මෙවැනි
පිරිසිදු වු සමන් මල් මාලාවකින් පිදු නිසා සිත් පිනවන කුලඟනක් පිරිස සමඟ ම ගොස් තිදස් පුරයේ (දෙවැනි දෙව් ලොව) සියලු සැපතින් යුතු ව වැජඹෙයි. ඒ මල් පැලදීමෙන් මෙබඳු සැපතක් ලද හැකි ද ?