ගුත්තිල කාව්‍ය 47
 

මුන් දැක සිය සකින්
ඇසුයෙමි පින් නිදුකින්
ඇඹෙයි මට මෙතෙකින්
ගොසින් පින් රැස්‌ කරමි ඉතිකින්


මොවුන් සිය ඇසින් ම දකිමින් කරදරයක්‌ නැති ව කළ පින් ඇසුයෙමි. මට මෙතෙකින් ඇති (ඇඹෙයි) දැන් මෙයින් පසු ගොස්‌ පින් රැස්‌ කරමි.


බෝසතුගෙ තෙපුලට
තුටුව බරණස්‌ නුවරට
ඔහු ගෙන යන ලෙසට
කීය සක්‌ දෙවිදු මාතලී හට


බෝසතුන්ගේ වදනට සතුටු වී බරණැස්‌ නුවරට ඔහු ගෙන යන්නැයි සක්‌ දෙව් රජ මාතලී යට කීය.


ඒ සඳෙහි මාතලී
සුදු සිඳු පෙළින් උදුලී
දිව රතයෙන් බලී
ඇදුරු සිය නුවරෙහි ඇරලී


මාතලී එවිට සුදු අශ්ව පන්තියෙන් බබළන බලවත් වු දිව්‍ය රථයෙන් ඇදුරා තම නුවරට ම ඇරලී ය.


ආවයි යනු අසා
සිටි සිටි තැනින් නො ලසා
ඔහු දක්‌නා නිසා
ඇවිත් රැස්‌ වූ දනෝ සහසා


ආවේය යන කීම අසමින් ඔහු දකිනු පිණිස සිටි සිටි තැන්වලින් වහා අවුත් දුටු නිසා එ දැන් සැක දුරු වන ලෙස කියවයි කියූහ.


එ සඳෙහි තම ගොසින්
දුටු සුර පුරෙහි වෙසෙසින්
සිරි පවසන ලෙසින්
දෙසී නිසි දම් දෙසුම් මෙලෙසින්


එවිට තමා ගොස්‌ දෙව්පුරේ දී විශේෂයෙන් දැක්‌කා වු සැපත්, කියා දෙනු පිණිස සුදුසු වූ ධර්ම දේශනාවන් මෙසේ දෙසුයේ ය.


සිය දහසක්‌ දිව පහයෙන් කර සතොස
දස දහසක්‌ යොදුනෙහි සැදි සුනෙර හිස
මිස පසසක්‌ පැවසිය නොහැකි ඇති ලෙස
දිටියෙමි සක්‌ පුරවර සිරි නොයෙක ලෙස


සිය දහස්‌ ගණන් දිව්‍ය ප්‍රාසාදයෙන් යුතු සතුට උපදවන මහ මෙර මුදුනේ දස දහසක්‌ යොදුන් මානයේ සෑරසී සිටුනා බුදුරදුන් හැර (සෙස්‌සනට) ඇති සැටියේ කියනු බැරි උතුම් සක්‌ පුරයේ සම්පත්තිය විවිධාකාරයෙන් දිටිමි.


කිමෙක කියනු සුර පුර සිරි සර වෙසෙස
මෙලොව සියක්‌ අවුරුදු එහි එක දවස
එ වැනි එ සුර පුර සිරිසැප ලබන ලෙස
කරව කුසල් තෙපි මඳකුත් නොව අලස


සුරපුරයෙහි ශ්‍රී සම්පත්තියෙහි විශේෂත්වය කියනුම කවරේද? මෙලොව අවුරුදු සියයක්‌ එහි එක දවසකි. එ බදු වු ඒ දෙව් පුරයේ උතුම් සම්පත් ලබනු පිණිස තෙපි මදක්‌වත් මැලි නොවී පින් කරවු.


ඇතෙක දෙතිස්‌ කුඹු දළ සිවු සැටක්‌ ඇති
ගෙයෙක රුවන් ටැම් සැත්තෑ දහස්‌ ඇති
රියෙක යොදන ලද සුදුසිඳු දහස්‌ ඇති
එසෙක සැපත් පවසා කිම ඉමක්‌ නැති


තිස්‌ දෙකක්‌ තුම්භසඵල හා සැට සතරක්‌ දළ ඇති ඇතෙක්‌ සිටී. මැණික්‌ කණු හැත්තෑ දාහක්‌ ඇති ගෙයක්‌ වේ. සුදු අසුන් දාහක්‌ යොදන ලද රියක්‌ ඇත්තේය. කෙළවරක්‌ නැති ඒ ආකාර වු (සක්‌ දෙවිදුගේ) සම්පත් ගැන කියනු කුමට ද ?


ගසෙක පැහැය ගවු දෙසියක දිසේ යා
මලෙක සුවඳ සිවු සිය ගවු ඇසේ යා
ගලෙක මොළොක උන් සත් නැඹ වැයේ යා
නොයෙක එ සහ සැප පවසමි කෙසේ යා


ගසක (පරිජාත වෘක්‌ෂයෙහි) පැහැය (ප්‍රභාව) ගවු දෙසියයක්‌ මානයේ පෙනේ. මලක (පරසතු) සුවඳ ගවු සාර සියයක්‌ දුරට දැනේ (ඇසේ) ගලක (පාණ්‌ඩුකම්බල ශෛලාසනය) මොළොක්‌ බව (කොතරම් ද කියත හොත් එහි) උන්නා වු ශක්‍රයාගේ නාභිය වැසෙන (තෙක්‌ එරේ, බසී) විවිධ වු ඒ ශක්‍ර සම්පත් මම කෙසේ පවසම් ද ?

(c) Shilpa Sayura Foundation 2006-2017