බෝසතුගෙ එබසින්
සිත සිත පිරුණු සතොසින්
යුතු මඳ මඳ හසින්
කිවුය සුර අඟනෝ ද මෙලෙසින්
බෝසතුන්ගේ ඒ වදනින් සිත්වල පිරුණු සන්තෝෂය නිසා මඳ මඳ සිනාවෙන් යුක්‌ත වු දිව්‍යාංගනාවෝ මේ ලෙසින් කීය.
පසු ව පවසමු සැක හැර
කල් නො යවා ඇදුර
දැන් ම වීණා ගායනා කර
අප, පෙර කළ පින් සැක දුරුවන පරිදි පසු ව පවසමු. ඇදුර කල් නොගෙවා දැන් ම වීණා ගායනා කරව.
යන මේ බස අසා
මුවෙන් නො බැණ ම ඉවසා
එබස එක් පෙදෙසා
සුදුසු අස්‌නෙක්‌හි ඉඳ සතොසා
ඉහත කී මේ වදන් අසා නිහඬ ව (කිසිත් නොකියා) ඒ පිළිගෙන සබයේ එක් පැත්තක සුදුසු වු අස්‌නෙක්‌හි සතුටින් ඉඳ.
මහ බෝසත් ඇදුරු
සත් සර නගන සුමියුරු
සත් තතෙකින් සොදුරු
සදා වීණාව ගෙන විසිතුරු
මහබෝසත් ඇදුරුතුමා ඉතා මිහිරි සප්ත ස්‌වර නගන්නා වු තත් සතකින් යුක්‌ත වු විසිතුරු වීනාව සදා ගෙන,
උන් සුර සෙන් සබා
එක එක සරින් කළඹා
දිව ගඳඹ පසුබා
වැයී සතියක් ම බා නො තබා
දේව සේනාව උන් සබය එක එක ස්‌වරයෙන් කළඹමින් දිව්‍ය ගාන්ධර්වයා (පන්සිළු) පසු බස්‌වා සතියක් ම වීණාව බැහැර නො තබා ම වාදනය කළේය.
වැළඳි සත් තත් විදු
වෙණ මේ තුළින් පිරි සිදු
සර වැසි වසිත රුදු
සතොස් වතුරෙන් පිරිණි සබ සිදු
සත් තත නමැති විදුලිය වැළඳගත් වීණාව නමැති වැහි වලාකුළින් මහත් වූ නාද නමැති මහ වැසි වස්‌නා කල්හි සබය නමැති ගහ (සිඳු) සන්තෝෂය නමැති වතුරින් පිරුණ්‌ය.
සුර සබය කළඹා සිත් ඇදගන්නා සේ වීණා වාදනය කොට උන්නා වු ඇදුරුතුමාට සතුටට පත් දිව්‍යාංගනාවෝ තමන් යට ගිය දවසේ...
සිල් රැක දන් දිදී
කසුප් මුනි සමයේ දී
පින් කළ රග යෙදී
කිවුය වෙන වෙන ම සිතු පැහැදී
සිල් රකිමින්, දන් දෙමින් කාශ්‍යප බුදුන්ගේ අවදියේ දී පින් කළ සැටි සිත පහදවා ගෙන වෙන් වෙන් වශයෙන් කියූ ය.
උන් කළ පින් අසා
සිතෙහි සපිරුණු වෙසෙසා
උතුලෙව් දළ තොසා
කීය බෝසත් තෙපුල් මෙලෙසා
උන් කළා වු පින් ඇසීමෙන් සිතෙහි විශේෂයෙන් ම පිරුණු මහත් ප්‍රීතිය උතුරා ගියා සේ බෝසත් තෙමේ මේ ආකාරයේ වචන කීයේ ය.
දිවි සසල වූයේ
ඊමෙකින් වැඩ වූයේ
කනට සැප වූයේ
අද ය වෙසෙසින් පහන් වූයේ
ජීවිතය සඵල වූයේ ය, පැමිණීමෙන් වැඩ සිදු වූයේ ය. කනට සැප වූයේ ය. විශේෂයෙන් සතුටට පත් වූයේ අද ය.
![](/sayura/images/logo2.png)