ගුත්තිල කාව්‍ය 44
 

උතුම් පෙරහර කොට
සපැමිණි විවා මඟුලට
සුර රජ උන් තැනට
සමර මල්දම් ලෙසින් ගොස්‌බට


උතුම් (පෙරහර) පවත්වා විවා මඟුලට පැමීණි සුර රජු උන් තැනට ස්‌වයං වරයෙහි සමර මල් මාලාව (සමර මල් දම්) ලෙසින් ගොස්‌ බටුවා ය.


දහස්‌ පිරිවර ගෙන
සුවහස්‌ ගණන් දෙවඟන
සිටියෝ මන නඳන
රුවින් සුරිදුන් පිරිවරා ගෙන


සිය දහස්‌ ගණන් දෙවඟනන් දහස්‌ ගණන් පිරිවර ඇති ව සිත් පිනවන රූ ඇති ව දෙව් රජු වටා සිටිහය.


රන් ගිරි මෙන් රඳා
කැල්මෙන් එසබ මුහුදා
සමන සුර සමුදා
මෙසේ උන් සඳෙහි සක්‌දෙවිඳා


මහමෙර සේ ඒ සබය නමැති මුහුද වර්ණවත් කෙරෙමින් දෙව් සමූහය ද සමඟ සුර රජු මේ අයුරින් සිටි කල්හි.


මාතලි දියැදුරා
ගොස්‌ දැක වැඳ පුරඳරා
එ ගුත්තිල ඇදුරා
ඇවිත් සිටිති යි කීය ඉඳුරා


මාතලී නම් රියදුරා ගොසින් සක්‌ දෙවිඳු දැක වැඳෑ ඒ ගුත්තිල ඇදුරා පැමිණ සිටිතැයි නොවළහා කීවේ ය.


සුරඟන අදහසී
එක්‌ කර සුනිඳු සුබැසී
තෙපලින් සහසැසී
වහා කැඳවා එවයි පැවසී


දෙවඟනන්ගේ අදහස මෘදු වු මනා වදනින් එක්‌කොට (කීවා මෙන්) සක්‌දෙව් තෙමේ (ඒ ඇදුරුතුමා) වහා කැඳවාගෙන එවයි පැවසීය.


සුර රජුගෙ එ බසට
තුටු ව රියැදුරු එම විට
එ පවත් බෝ සතුට
කියා කැඳවා ගියේ සබයට


දෙව් රජුගේ ඒ කීමට සතුටු වී රියැදුරා එවේලේ ම ඒ පුවත බෝසතු හට කියා ඔහු සබයට කැඳවා ගෙන ගියේ ය.


රිවි කිරණට හමුව
පිපි පියුමන් සෙ නවමුව
සක්‌ දෙවිදුට යොමුව
පසන් සුර සෙනඟ දැක පළමුව


හිරු රැස්‌ මුණ ගැසී අලුතින් පුබුදු වු නෙළුම් මල් සෙයින් සක්‌දෙව් රජුට අභිමුඛ වී පැහැදුණු සුර සෙනඟ පළමු ව දැක...


විහිදෙන මිණි පබා
වතුරෙන් සබය කළඹා
දෙපස උන් මහබා
දෙතිස්‌ සුරිදුන්ගෙ සිරි නරඹා


පැතිරෙන්නා වු මැණික්‌ කාන්තිය නමැති ගලන දිය දහරින් සබය අළලමින් දෙපැත්තේ හුන් මහපින් දැති දෙවියන් තිස්‌දෙදෙනගේ සිරිමත් බව බලා...


නොදැක මේ සසර හිම්
දහම් දත් සත කොතරම්
මූස කරවන තරම්
බලා අසරන්ගෙ මනරම්


මේ සසරේ සීමාව නො දැක කවර තරමේ ධර්මයන් දත්තා වු සත්වයන් සිහිසන් නැති කරවන තරම් වු අප්සරාවන්ගේ සිත සතුටු කරන රුව බලා...


වල් විදුනා දැරූ
සුරඟන සමග රුසිරූ
සක්‌ දෙවිදු පිළිරූ
පෙනෙත රන් මිණි බිතින් සොඳුරූ


වල් විදුනා අතින් ගත් දෙවීලියන් සමඟ සක්‌ දෙවිඳුගේ පිළිරුව අලංකාර වූ රන් බිතින් හා මිණි බිතින් පෙනෙන විට...

(c) Shilpa Sayura Foundation 2006-2017