ගුත්තිල කාව්‍ය 43
 

වරුණය පජාපති
ඊසාන යන නම් ඇති
සුරන් උන් ඉක්‌බිති
අසුන්වල අඩ යොදුන් උස ඇති


වරුණ ය, ප්‍රජාපති ය, ඊසාන ය යන නම් ඇති දෙවියන් යොදුන් බාගය (බැගින්) උස ඇති ආසනවල වාඩි වු පසු-


සුරිදුට එක්‌ පසෙක
ගවු උස අසුන් දෙතිසෙක
පිරිවර ගෙන නොයෙක
ඇවිත් වැඩහුන් සුරෝ දෙතිසෙක


සුර රජුගේ එක්‌ පසෙක ඇති ගවුවක්‌ උස්‌ වු ආසන තිස්‌ දෙකක නොයෙක්‌ පිරිවර ගෙන අවුත් ඉඳගත් දෙවියෝ තිස්‌ දෙදෙනෙකි.


සුළඟින් ගෙන එකල
පිළිවෙළිනතුල මන කල
මල් කෙම් අසුන් වල
දහස්‌ සුවහස්‌ සුරන් උන් කල


එවිට සුළඟින් ගෙනවිත් පිළිවෙළට ඇතුරූ මල්කෙමි ආසන කොට ගෙන දහස්‌ගණන් ලක්‌ෂ ගණන් දෙවියන් උන් කල්හි..


සුරිදු සිත නම්මා
ලද සුර ඉසුරු නිම්මා
සුර ලඳ සුදම්මා
සුරඹ පිරිවරමින් සුරම්මා


දෙව් රජුගේ සිත නම්මා දෙව් සැපත් කෙළවරට ම ලැබූ සුධර්මා නම් දිව්‍ය කාන්තාව අතිශයින් ශෝබන දෙවඟනන් පිරිවරා ගෙන...


මිහිදුම් රසින් ගන
නන් තුරු මලින් නද දෙන
සුර සබ හිමවු වන
වසත් සිරි සිරි රැපයි අවිදින


කදු සමූහයෙන් (මිහිදුම්) ඝන වු නාද කරන නොයෙක්‌ තුර්ය මාලායෙන් යුත් දෙව් සබය නමැති හිමාලය වනයට පැමිණි වසන්ත සිරියේ ස්‌වභාවය දැක්‌ වූ....


හැම සුර පබන්දා
දළ ලොබ සිදු කුමුන්දා
රුවින් මන නන්දා
දිලිහි දිලිහී සුරඹ නන්දා


සියලු දේව සමූහයා මහත් වු ආසාව නමැති මූදේ ගිල්වමින් සිත් ඇදගන්නා වු රූපශ්‍රීයක්‌ ඇති නන්දා නම් දිව්‍යාංගනාව රූපශ්‍රීයෙන් බැබළි බැබළී.


වරකත රනින් සර
සුර සිරි සඳට ආකර
සුර සබ කිරි සයුර
පිවිටු සඳරැස්‌ ලෙසින් මනහර


වරංගනාවන්ගේ රැගුමෙන් සරු වු දෙව් ඉසුරු නමැති චන්ද්‍රයාට ආකරයක්‌ වු දෙව් සබය නමැති කිරි මූදට සිත් ඇද ගන්නා සඳ රැස්‌ ලෙසින් ඇතුළු වූ


සදෙව් ලොව දෙවඟන
පසුකර රුවින් බබළන
සුරිඳුට පියඹු වන
එසඳ සිත් නම් පවර සුරඟන


රූපශ්‍රීයෙන් සදෙව් ලොවේ දෙව් අඟනක්‌ පසු බස්‌වා බබළන්නා වූ ද, දෙව් රජුගේ පිය අඹුව වන චිත්‍රා නම් උතුම් දෙවඟන,


සුරසෙන් පසන් වන
මැද රැදි හසුන් තඹරන
සුර සබ විල වදින
උදය රිවිරැස්‌ ලෙසින් ගොස්‌ වන


දිව්‍ය සේනාව ප්‍රසන්න වන මැද හරියේ රැඳී හංසයන්ගෙන් බබළන දිව්‍ය සභාව නමැති විලට වඳින සූර්යරශ්මිය ලෙස ගොස්‌ ඇතුළු වීය.


සුරන් සිත් මුහුදා
කලඹන රුවින් නොමදා
සහ සුරඹ සමුදා
සුදා නම් සුර ළඳ ද එසඳා


දෙවියන්ගේ සිත් නමැති මූද රූපශ්‍රීයෙන් වඩාත් කැළඹීමට පත්කරන සුජාතා නම් දෙවඟන දෙව් ලියන් සමූහයක්‌ හා එකල්හි.

(c) Shilpa Sayura Foundation 2006-2017