ගුත්තිල කාව්‍ය 42
 

දැක සුරඹ සුවහස්‌
කර නෙතෙහි දුක්‌ නිදහස්‌
සිත සපුරා සතොස්‌
සුසදෙ සුදසුන් වේ මැදින් ගොස්‌


දෙවඟනන් ලක්‌ෂ ගණන් දකිමින් ඇසෙහි වු දුක්‌ මුදා හැර සිතේ සතුට සපුරා ගෙන මනා ලෙස සරසන ලද සුදර්ශන නම් වු වීදිය මැදින් ගමන් කොට....


ඉසුරන් අග පැමිණි
සසග සුර සබ අගමිණි
රසරද දිගත මිණි
සුදම් සුර සබ වෙතට සපැමිණි


ඉසුරුමත් බැවින් අග තැන්පත් දෙව් ලෝ සයේ සුරන්ගේ සභාවට සිළුමිණක්‌ වු දිසා කෙළවර මැණික්‌ රැසින් බබළන සුධර්මා නම් දිව්‍ය සබය වෙතට පැමිණියේ ය.


තුන් සියයක්‌ යොදුනි
එසුර සබ දිගු පුළුලිනි
පන්සිය යොදුනු සිනි
යොදුන් නවසියයකැයි අවටිනි


ඒ දෙව් සබය දිගින් පළලින් යොදුන් තුන්සියය තුන්සියය වේ. උසින් යොදුන් පන්සියය කි. හාත්පසින් යොදුන් නවසියය කි.


ටැම් ගන කසුන්මය
බිතු දුල පිළි මැණික්‌මය
බිම නිල් මැණික්‌මය
යෙහෙක්‌ නම් ලොව එසබ දැක්‌මය


කුළුණු ගන රන් ම ය ඒවා ය. බිත්ති දිළිසෙන පළිගු මැණික්‌ ම ය. බිම නිල් මැණික්‌ ම වේ. ලොව යහපත් දෙයක්‌ වේ නම් ඒ සබාව දැක්‌ම ය.


සුසැදි රන් ටැම් උඩ
උදුළ පිළිමිණි පේ කඩ
රස්‌ දිලි දිහත් මැඩ
එසබ දුටු කල ගනී නෙත් මැඩ


රන් කණු මුදුනේ මනාව යොදන ලද බබළන පළිගු මැණික්‌ ම ය. පියකඩ රශ්මිය දිසා කෙළවර යටපත් කොට දිලෙන්නා වු ඒ සබය දුටුව හොත් ඇස්‌ පෙනීම යටපත් වේ.


පබළ වග රූ රැස්‌
සැදි සත්රුවන් ගෝනැස්‌
විහි දී පල රන් රස්‌
එසබ දුටු කෙනෙහි ලද්දෝ ඇස්‌


පබළුයෙන් කළ ව්‍යාඝ්‍ර රූප සහ සත් රුවනින් කළ ගොනැස්‌ ඇති රන් පතළ පල ඇති ඒ සබය කෙනෙක්‌ ඇස්‌ ලැබුවෝ නම් වෙති.
ගොනැස්‌ - ගොනැස්‌ නම් කෙළවර වක්‍ර ව කැටයම් කොට සාදන ලද දැව විශේෂයකි.


කලදෝ කැරැල්ලෙන්
ලෙළ දෙන රන් කෙහෙල්ලෙන්
සැදි නේ සඳැල්ලෙන්
එසබ විසිතුරු වී සියල්ලෙන්


රිදී කොත් කැරැල්ලෙන් ද ලෙළ දෙන රන් කොඩිවලින් ද සැරසුණු නොයෙක්‌ සඳලු තල ඇති ඒ සබා (සාලාව) සියලු දෙයින් විසිතුරු වී...


මෙලෙසින් සැදි පවර
එ සුදම් සබා අබතුර
උස තුන් ගවු විතර
මැවුණු කුසුමාසනේ මනහර


මේ සැටියට සැරසුණු උතුම් වූ සුධර්මා නම් සභාව ඇතුළේ මැවුණු තුන් ගවු පමණ උස ඇති සිත් දැදගන්නා මලින් කළ ආසනයේ...


 

යෙළ යාළක්‌ සුවඳ
විලවුන් අලෙවි කර සොඳ
මිණි අබරණ පැලඳ
සැටක්‌ ගැල් පිරිය හැකි මනනඳ

ගැල් එකහමාරක්‌ පමණ මනා වු සුවඳ සුණු ඇඟ ගල්වා කරත්ත හැටක්‌ පිරවිය හැකි පමණ වු සිත සතුටු කරන ආභරණ පැලඳ ගෙන,


ගඩුවක්‌ පමණ උස්‌
පලන් කිරුළෙහි පිරිවෙස්‌
දිදුලෙන් අහස්‌ කුස්‌
නොසිස්‌ කර උන් සඳෙහි සහසැස්‌


ගව්වක්‌ පමණ උස්‌ වු පැලඳ ගෙන සිටින ඔටුන්නෙහි බබළන රශ්මි මාලාවෙන් අහස්‌ කුස හිස්‌ නොකර (පුරවා) ශක්‍ර දේවේන්ද්‍රයා උන් කල්හි,

(c) Shilpa Sayura Foundation 2006-2017