ගුත්තිල කාව්‍ය 41
 

රැදි මිණි පවුරු වට
මැද දිලි රුවන් සල වට
සැදි සිටි හැම විට
පිවිස එ නදුන් නදුන් වනයට


මැණික්‌ ප්‍රාකාර හාත්පසින් සෑදුණු මැද වට වු මැණික්‌ ගල් ආසනවලින් දිලිසෙන සියලු විට ම සැරසී සිටින ඒ සිත් පිනවන නඳුන් උයනට ඇතුල් ව්....


නිල් මිණි බිම පිහිටි
යෙන් එම උයන එක සැටි
නිති උඩු යටි ව සිටි
අසිරි දෙ වුයෙන් දෙකක්‌ සේ දිටි


ඒ එක ම උයන නිල් මැණික්‌ බිමේ පිහිටි හෙයින් නිබඳ ව ම උඩුකුරුව හා යටිකුරුව පිහිටියා වු ආශ්චර්යවත් දෙව් උයන් දෙකක්‌ සේ දුටුවේ ය.


කෙළෙන ලද පැලැඹී
මත් හස පියුම් මී බී
පිරි දිය නො කැලඹී
නඳුන් පොකුණේ සිරි ද නැරඹී


නෙළුම් මල් පැණි බී මත් වු තරුණ හංසයන් ඇල්මෙන් (පැලඹී) ක්‍රීඩා කරන දිය නො කැලබී පිරී පවත්නා නන්දා නම් පොකුණේ සිරිය ද බැලී.


ගොසින් වැද සක්‌වළ
විහිදෙන කිරණ පෙළ පෙළ
සත් රුවනින් උදුළ
දෙසිය පනහක්‌ පවුරු වට කළ


පැතිරී ගොස්‌ සක්‌වළ ගලෙහි හැපී පේළි පේළි වශයෙන් විහිදෙන කාන්තිය සත් රුවනින් උසස්‌ ව බැබළෙන දෙසීය පනසක්‌ පවුරින් වට වූ-


වැද දියත පිරිමැදි
කසුන් කලදෝ දද බැඳි
රැස්‌ වතුරේ කිමිදි
රුවන් වාසල් දහසෙකින් බැඳි


විහිදී ගොස්‌ දිසා කෙළවර හැපෙන රන් රිදී කොඩි බැඳ ඇති රශ්මි නමැති වතුරේ ගිලුණු මැණික්‌ දොරටු දහසකින් යුත්-


කර රන් දද පිහිලී
වැහෙන නන් මිණි රස්‌ හැලී
සැදි කුළු සිය කැරලී
දහස්‌ සුවහස්‌ පහ පෙළින් දිලී


රන් කොඩි පීලි කොට ගෙන නොයෙක්‌ මැණික්‌ කාන්ති ධරාවන් වැගිරෙන කොත්කැරැලි සිය ගණනින් යුතු කුටාගාරයන්ගෙන් සෑදුණු දහස්‌ ගණන් ලක්‌ෂ ගණන් මැදුරු පෙළින් බබළන්නා වු-


සතොසින් පින පිනා
නිබඳ දෙවියන් කෙළිනා
සුපිපි සල් සපු නා
සුසැදි ගෙවුයන්-පෙළින් සොබනා


සතුටින් පීනා යමින් දෙවියන් නිතර ම ක්‍රීඩා කරන මනා ව පිපුණු සල්, සපු නා ගසින් සෑදුණු ගෙවුයන් පෙළින් යුක්‌ත වු-


පිපෙන සුවඳැති මල්
නොහැර ම උදක්‌ කල් යල්
පිපී මිණි නිල් සිසිල්
ගෙදිගු විල් සියපෙළින් මනකල්


හුදෙක්‌ (නිති) වාර අවාර නොහැර ම සුවඳ ඇති මල් පිපෙන නිල් මැණික්‌ ප@හැති දිය පිරුණු ගෙ අසල දිගටි පොකුණු සිය ගණනින් සිත් ඇදගත්-


රන් මිණි රැස්‌ විහිදි
බිහි දොර සියෙන් සිය සැදි
සව් සත සතන් බැඳි
යොදුන් දස දහසෙකින් පිරිසිඳි


රන් කැලුම්, මැණික්‌ කැලුම් විහිදෙන, පවුරු දොරවල් සිය දහස්‌ ගණන් ඇති සියලු සතුන්ගේ සිත් බැඳගත් යොදුන් දහ දාහකින් සීමා වූ-


සුරතුරු සුවහ සින්
රන් දෙදෙනි සන් අහසින්
විසිතුරු තුරු ගොසින්
සොබන සක්‌පුරට වැද සතොසින්


දිවෘ වෘක්‌ෂ ලක්‌ෂ ගනණින් ද, රන් කොඩිවලින් ගැවසුණාවු ආකාරයෙන් ද විචිත්‍ර වූ තුර්ය නාදයෙන් ද යුතු අලංකාර ශක්‍ර පුරයට සතුටින් පිවිස-

(c) Shilpa Sayura Foundation 2006-2017