රන් සිරිවස නිගාය සිහිනිගාය
සුර'ඹ රුසිරු ලඟාය කොමළගාය
කිඳුර'ඟනන් රගාය ගිරි රගාය
ගියේ ය රිවි මහාය මඟ මගාය
රනින් කරන ලද උඩැක්කියට නිගා කරන්නට තරම් සිහින් වු ඉඟ ඇති රූපශ්‍රීයෙන් දෙවඟනන්ට ළංවන්නා වු, කෝමළ සිරුරු ඇති කින්නරාංගනාවන්, කදු නමැති රඟ මඬලෙහි නටනු බලමින් අහසින් (බෝසත්) ගියේ ය.
සිරිවස - උඩැක්කිය
ස පැමිණි සඳෙහි අඹරට තම නොපිහිකුළු
නොමිනි රැසින් නන් පැහැ කරන ගනකුළු
ගිහිණි සුරඹ ලිය කිඳුරන්ගෙන් ලකුළු
පෙනිණ සුවාසු දහසක් හිමිවූ කුළු
අඳුරෙන් නො වැසුණු අහසට පැමිණි කල්හි, මැණික්වල කාන්තියෙන් වලාකුළු නන් වැදෑරුම් පාට ඇති කරන කල්හි දෙවඟනන් හා ලියකිඳුරන්ගෙන් අලංකාර වු හිමාලය කදු මුදුන් අසූහාර දහසක් පෙනුණේ ය.
මනකල් නිමල් සරනා සක්වල නිබඳ
කෙළිලොල් වතළ මින් රළ රළ ගොස පබඳ
සුවිසල් නොයෙක තැන දිසි ගිරිකුළු
ගන කල් අහස මෙන් දිටි නිල් මහ මුහුද
සිත් ඇදගන්නා මුහුදු ලිහිණි සමූහයා හැසිරෙන්නා වු, ක්‍රීඩා කිරීමෙහි ආශායෙන් පැතිරුණු මත්ස්‍ය සමූහයන් ඇති, නොකඩවා පවත්නා රළ ගොස ඇති, නොයෙක් තන්හි ඉතා විශාල වු බොහෝ පර්වත මහ මුහුද සක්වල ගලින් සීමා කරන ලද අහස මෙන් දැක්කේ ය.
මිණි පේකඩින් බඳ නිල් මිණි තලා පිට
සුර ලොව රිදී ටැම් දකිනට පළමු කොට
දිසි නිමිතෙව් සිලිලෙන් මද නිකුත් කොට
ගුරුළුන් රැගත් උරගුන් දිටි සයුර පිට
දෙව්ලොව නිල්වන් මැණික්මුවා තල මතුයෙහි මැණික් පේකඩින් යුත් කොට බඳනා ලද රිදී කණු දක්නට පළමුවෙන් පෙණුනා වු (පෙර) නිමිති මෙන්, ගුරුළන් විසින් ජලයෙන් මෑත් කොට හැර ගන්නා ලද නයින් මුහුද මතුයෙහි දැක්කේ ය.
වලා පෙළින් ගැවසුණු මෙන් සුනිල'ඹර
දුලා උලැගි රළ පතරින් පිරි නිතොර
ගලා සිටින සිදු මැද සක්වළ අතර
බලා කොදෙව් සහ මහ දිවයින් සතර
වලාකුළු පේළියෙන් ගැවසීගත් බොහෝ සෙයින් නිල්පාට අහස මෙන් බබළමින් උඩට නැංගා වූ, සක්වළ ගල ඇතුලත පැතිර පවත්නා වු මුහුද මැද පිහිටි කුඩා දිවයින් සහ මහ දිවයින් සතර බලමින්,
පෙර සුර පුරට පවුරෙ'ව් මෙර වටා සිටි
සමුදුර තරඟ සෙමෙරට ලු කිරණ මිටි
යුඟදුර පටන් අඩෙකින් එකිනෙකට මිටි
මනහර රුවන් සත් කුළු පව් වළලු දිටි
අසුර පුරයට ප්රාකාරයක් මෙන් මහා මේරුව වට කොට සිටියා වු ද, සාගර තරංග නමැති වාමරයන්ට යොදන ලද මිටවල් බඳු ආලෝක රශ්මි ඇති යුගන්ධර පර්වතයේ සිට එකිනෙකට අඩකින් මිටි වු සිත් කලු මැණිකක්මය සප්ත කුට පර්වත වළලු දුටුවේ ය.
පැහැපත් පග'ඟ නන් රන් මිණි යවඟ බඳ
දිගුබිත් එකෙ'ලි කර ලෙළ දද පවන වැද
මහසත් දසත ලොබ කර කර සුර කැලන් නඳ
කළ අත් සනෙ'ව් දිටි තම එන ලෙසට සෙද
පැහැපත් වු ප්‍රාසාද මුදුන්හි වු නොයෙක් රන්, මැණික් යෂ්ටීන් අග බඳිනා ලද, සුළඟ වැදීමෙන් දිසා (නමැති බිත්ති) ඒකාලෝක කරමින් ලෙළ දෙන කොඩි බෝසතුන්ගේ තමා හට අත් වනන්නාක් මෙන් දැක්කේ ය.
සිව් දිගිනෙන දෙව් රුපු සෙනඟ ලුහු බැඳ
ලෙව් රකිනා දෙව් රද රඳන හැම සඳ
සව් සිරි දෙන දෙව් තුරු සියෙනි මන නද
සිව් මහරජය දෙව් පුරයට ගොසින් වැද
සතර දිගින් එන අසුර සේනා ලුහු බඳිමින් (දෙව්) ලොව රකින්නා වු දිව්‍ය රාජයන් හැම කල්හි වාසය කරන සියලු සැප සම්පත් දෙන සිය ගණන් කල්ප වෘක්ෂයන්ගෙන් සිත් සතුටු කරන චාතුර්මහාරාජිතය නම් දිව්‍ය නගරයට ගොස් ඇතුල් වී.
මන නඳ ගඳෙව් රස විඳ විඳ ම එක එක
රිය ඇඳ ඉවත යන සිත් තුරඟ රැක රැක
සුර ලඳ විඳින නෙත් සර පහර එක ලක
ගිය සඳ එ දෙව් පුර සිරි සැපත දැක දැක
සිත් ඇද ගන්නා ගාන්ධර්ව (සංගීත) රස එකක් පාසා විඳිමින් ම, රථය ඇද ගෙන ඈතට යන සුදු අසුන් වනත්වමින් දෙවඟනන් විදින්නා වු ඇස් නමැති ඊතල පහරට එක ම ඉලක්කය වී ඒ දෙව්ලොව ශ්‍රී සම්පත් බලමින් ගිය කල්හි,
පින් පල අඳුන් වන
සත ගොස රස අඳුන් වන
දහසක් යොදුන් වන
පෙනිණි විසිතුරු වන නදුන් වන
පිනෙහි පල හඳුන්වන සතුන්ගේ ඇසට රස අඳුනක් වන යොදුන් දහසක් වු විසිතුරු නන්දන වන (උයන) පෙණුණේ ය.
![](/sayura/images/logo2.png)