ගුත්තිල කාව්‍ය 39
 

කෙරෙමින් සිය යසස බඹ සිරස සේසත්
තෙදගින් ඉඳුර'සුන් උණු කරත පෝසත්
වෙසෙසින් තමා දැක තොස වඩන ලෝසත්
බලමින් එ සඳ දෙව් ලෝ වඩින බෝසත්


තමන්ගේ කීර්තිය බඹහුගේ හිසට සේසත් කෙරෙමින්, තේජස්‌ ගින්නෙන් සක්‌දෙව් රජුගේ ආසනය උණුසුම් කිරීමට පවා සමත් වූ තමන් දැකීමෙන් විශේෂයෙන් සතුට වඩන ලෝසතුන් දෙස බලමින්, එකල්හි දෙව්ලොවට වැඩම කරන බෝධිසත්ව තෙමේ.


සැලී සුපිපි සපු නා වැළ දිමුතු
දිලී කුසුම් බිඳ බිඳ නම නමා අතු
ඇලී ඉඳින කොමළග තුනු සිරිත් යුතු
බැලී තැනින් තැන සැදි සොඳ උයන් වතු


බබළන්නා වු පිපුණ සපු නා ගස්‌වල (සුළඟින්) සෙළවෙන (සැලී) අතු නම නමා දීප්තිමත් මල් කඩමින් (එහි) ඇලී සිටින රුසිරින් යුත් කෝමල කාන්තාවන් සිටින තැන් තැන්වල තිබෙන්නා වු සොඳ උයන් වතු බැලී ය.


කලා නදන කැලුමෙ'ව් නුබ තලායා
දුලා සරන හසවැළ දිය තලායා
ලොලා බමණ බිගුදැල් මන කලායා
පලා ගොසින් පුල් විල් බල බලායා


අහසෙහි සඳ (කලානදන) ක්‍ෂෆස්‌ ලෙසින් දිය මතුපිට දිලිසෙමින් හැසිරෙන හංස පෙළින් යුත්, ආශාවෙන් හැසිරෙන සිත් ගන්නා මී මැසි සමූහයෙන් යුත් පිපුණු මල් ඇති විල් බලමින් වහා ගොස්‌.


අහස්‌ ගඟෙහි වැද එන සුවඳ මඳ නලේ
පහස්‌ ලදින් සතුටු ව කෙළින මිහිතලේ
වහස්‌ බැලුම් ලැබ පුර'ඪුවන මන කලේ
දහස්‌ ගණන් පුර නරඹ'මිනි ගිය කලේ


ආකාශ ගංගාවෙහි හැපී එන්නා වු, සුවඳින් යුත් මද සුළගෙහි පහස ලැබුණු සතුටට පැමිණි පොළොවෙහි ක්‍රීඩා කරන්නා වු, සිත් ඇදගන්නා වු පුර ස්‌ත්‍රීන්ගේ මදලස බැලුම් ලබමින් දහස්‌ ගණන් නගර බලමින් ගිය කල්හි.


දුටුයම් සතුන් නෙත් සිත් විසි කරන උදු
මනරම් රුවන් සල්පිල් සිය දහස්‌ සැදු
යසකම් නිමල් පහකුළු සියෙනි සව්සුදු
දිටි ගම් නියම්ගම් සව් සිරිනි පරසිදු


දැක්‌කා වු යම් කවර කෙනෙකුන්ගේ වුව ද නෙත් සිත් ඒකාන්තයෙන් ම වසඟ කරන, සිත් අලවන මැණික්‌ වෙළඳ සැල් සිය දහස්‌ ගණනින් යුක්‌ත වූ ද, මනා කැටයම් ඇති නිර්මල වු සුදු පැහැයෙන් යුතු සිය දහස්‌ ගණන් පහ මුදුන් ඇති යස ඉසුරින් පිරි ප්‍රසිද්ධ ගම් නියම්ගම් ද දැක්‌කේ ය.


ලඳ ඇල් ගෙවිලියන් ඉඳ කියන රාගිය
මඳ කල් සිට අසමින් කන් පුරා ගිය
සුවදැල් කෙත් රන්දම් සේ පැසී ගිය
සුවිපුල් සිත් සතොසින් දැක පිනා ගිය


තරුණ ඇල් ගෙවිලියන් ඉඳගෙන කියන්නා වු, රාගයට අනුව ගයන ගීය මඳ වේලාවක්‌ නැවතී සිට කන්පුරා අසමින්, රන්මාල බඳු පැසී ගිය සුවඳ ඇල් කුඹුරු දැකීමෙන්, බෝසත් මහත් සිත් සතුටට පත් වූයේ ය.


වන තුරු පටින් දිලිහෙන මන කලවන්
සිදු නිල'ඹරින් සුසැදුණු මිහි කාලාවන්
මිණි මුතුපෙළින් බබළන මේකලාවන්
දැක දැක ගොසින් ගං හෝ වැලි තලාවන්


සිත්කලු වු වන නමැති උතුරු සළු පටින් බබළන, මුහුද නමැති නිල්පාට වස්‌ත්‍රයෙන් මනා කොට සැරසුණු පොළව නමැති කාන්තාවන්ගේ මැණික්‌ පෙළින් හා මුතු පෙළින් දිලිසෙන මෙවුල් දම් වැනි වු, (ඉවුරු ඇති) ගං, හෝ, වැලිතලා දකිමින් ගමන් කොට,


රැගෙන රඳා ගත් මෙන් ඉඳුනිලින් නිල
නගන සුනිල් ගල විඅහා පිලින් පිල
මගන මොනර'ගන වට රැකවලින් වල
රඟන මොනර ගණ දිටි මග ගලින් ගල


වනයේ බලා සිටින සෙබඩුන් වට, රැකවල් ලමින් ඉඳුනිල් මැණිකෙන් නිල් පැහැය (පෙරා) ගෙන පැහැ පොවාගත්තාක්‌ වැනි වු බෙල්ල දිගු කරන හා පිලින් පිල විදහමින් ගලින් ගල රඟ දෙන මොනර සමූහයා දුටුවේ ය.


බැහැර නොගොස්‌ වැද වැද සිට රළින් රළ
නොහැර පහර දෙන මෙන් යා කුළින් කුළ
පැහැර පුලිඟු ඉසිනා අං බළින් බළ
ළතර මුවන් පොර දිටි මහ පළින් පළ


පිටතට නොගොසින් රංචුවෙන් රංචුව වදිමින් සිට, පැහැර හැරීමක්‌ නැති ව කුළු ගෙඩියකින්, කුළු ගෙඩියකට ගසන්නාක්‌ මෙන් අං දෙබළයෙන් දෙබළයට පහර දෙමින් ගිනි පුපුරු විසුරුවන්නා වු, තද සිත් ඇති මුවන්ගේ පොර (ඇන ගැනීම) මාර්ගයෙහි තැනින් තැන දැක්‌කේය.


ගිලි රොනවුල් මලීය පෙණ මලීය
දිව එන පිළි පිලීය පල පිලීය
සඳ කැලුමෙ'ව් හැලීය ඇද හැලීය
හෙනු දුටු ගඟුලැලිය සිහි ලැලීය


මලින් ගිලිහුණු රොනින් ආකුල වූ පෙණ පිඬු පේළි ද, උඩු යටි වෙමින් පාවී එන ලොකු කුඩා ගෙඩි ද, ඇද හැලෙන සඳරැස්‌ මෙන් සුදුපාට වූ ඉතා සීතල වු ගංගා දිය ඇලි ඇද හැලෙනු දැක්‌කේ ය.

(c) Shilpa Sayura Foundation 2006-2017