එ බසට මාතලී
ලෙසින් සියරැළි විදුලී
තුනු කැල්මෙන් දිලී
මෙසේ කන්කලු බසින් තෙපලී
ඒ වචනයට (පිළිතුරු වශයෙන්) මාතලී දිව්‍ය පුත්‍රයා සිය ගණන් රැළිවලින් යුක්‌ත වු විදුලිය බදු ශරීර කාන්තියෙන් බබළමින්, කනට ප්‍රිය වූ වචනයෙන් මෙසේ කී ය.
රිපු ය අසුරා නම්
මහිමි ය පුරඳරා නම්
දනුව ඉඳුරා නම්
මම ය මාතලී රියැදුරා නම්
අසුරයාට නම් සතුරු ය (ඒත්) සක්‌දෙව් රජ නම් මගේ ස්‌වාමියා ය. (මගේ) නම නියත වශයෙන් ම දැන ගන්න. මම මාතලී නම් රථාචාර්යයා වෙමි.
තොප වෙණ නද සුර'ඹ
අසනුව කිවුය කර ලොබ
එයින'ප සුරිදු මොබ
එවී කැඳවා යන ලෙසට ඔබ
දෙව්ලියෝ ඔබගේ වීණා නාදය අසනු පිණිස ආශා කොට කීය. එහෙයින් දෙව්රජ තෙමේ, ඔබ (එහි) කැඳවා ගෙන යන පරිද්දෙන් අප මෙහි එවී ය.
එයින'ප හා ඩඩඳ
සුරිඳු පුරයට මනනඳ
වඩිනු මැනවැයි යැද
පවර දිව රතය ළං කළ සඳ
එහෙයින් අප හා එක් ව සිත් පිනවන සක්‌දෙව් රජුගේ පුරයට යහපත් වනු මැනවැයි ඉල්ලා සිටිමින්, උතුම් දිව්‍ය රථය ළං කළ කල්හි.
සුර කුමරකු ලෙසට
සැරී බෝසතු රතයට
නැගෙත සිත තුටු කොට
රිය ද පැන නැංගේ ය අහසට
බෝසතාණන් දෙව් කුමරකු මෙන් සැරසී සිත සතුටු කර ගෙන රථයට නැගෙත් ම, රතය ද අහසට පැන නැඟුණේ ය.
තඹ වතුරෙව් තුරු බිජු රැදි නුබ කෙතට
දිලි ලවගෙ'ව් ගන'දුරු හුණ වනපෙතට
දින පති දෙව් රද මඟ නියම කොට
බැඳි දද එව් අරුණලු නැගි පෙරඹරට
තාරකා නමැති බීජ රැදී පවතින අහස නමැති කුඹුරට (ගලන) තඹ පාට බොර දිය වැනි වු ද ගන අඳුර නමැති උණ වනයට දිලිසෙන ලැව්ගින්න බඳු වූ ද දවසට අදිපති දෙව් රජ (හිරු) එන්නා වු මාර්ගය නිශ්චිත කොට බඳින ලද කොඩි වැනි වූ ද අරුණාලෝකය නැගෙනහිර දිග අහසට නැංගේ ය.
එතර දිනිඳු හිමි දැක විළඹුවෝ හැමා
බඹර කිකිණි සැදී සියපත් මෙවුල්දමා
තිසර දිමුතු මුතුහර පැලඳ මනරමා
නොහැර පහස විඳිනට සැදුණු නොව පමා
එකල්හි විල් නැමැති භාර්යාවෝ හැමදෙනා හිරු නමැති හිමියා දැක, මීමැස්‌සන් නමැති මිණිගෙඩිවලින් නාදවත් වු නෙළුම් මල් නමැති මෙවුල්දම් ද, හංසයන් නමැති බබළන සිත්කලු මුතුපොට ද, පැළද ගෙන, වියෝ නොවී පහස විඳිනු පිණිස, නොපමා ව සැරසුනහ.
සොඳුරු තුරුණු සියපත් සිය රැස් වතුර
ඉඳුරු දෙසින් වැඳ නුබ ගඟ එක පැතිර
අදුර සෙවෙල් තුරු සියපත් සිසි තිසර
අතුරු දහන් කර පිරුණෙය ලොව නොහැර
සොඳුරු වූ ළහිරු (තුරුණු සියපත් සිය) රැස් නමැති ජලය නැගෙනහිර දිසාවෙන් පිවිසී අහස්‌ගඟ පුරා පැතිරී අදුර නමැති සෙවෙල් ද තාරකා නමැති නෙළුම් මල් ද චන්ද්‍රයා නමැති හංසයන් ද අතුරුදන් කර ලොව පුරා පිරී ගියේ ය.
බොල් පිනිබිඳු බැමීය අතු නැමීය
මල් මවරඳ තෙමීය නල හැමීය
පුල් තඹරෙහි බිමී ය බිඟු බිමීය
මල් සර සැවු දැමීය රිය හිමීය
අතු නැමී ලොකු පිනිකැට බිමට (මිහි) ගලා ගියේය. මල් පැණියෙන් තෙත් ව සුළඟ හමා ගියේ ය. පිපුණු නෙළුම් මලෙහි මී බී මීමැස්‌සා කැරකුණේය. රතී දෙව් දුවගේ හිමියා වූ අනංගයා මල්දුන්න අතහැර දැමී ය.
වැදතුල් ළහිරු රැස් යුගනල ගිම් ගිහිණි
තුරුමල් පතළ පෙණ ගනදුරු සිදු සිදිණි
මනකල් කමලු'පුල් වන මිණි ගණ පෙනිණි
එම කල් දෙවෙනි දින දෙව් රිය ද නික්‌මිණි
යුගාන්ත ගින්න වැනි ළා හිරු රැස් වැදී තාරකා පොකුරු නමැති පෙණ පිරුණු ගන අදුරු නමැති මුහුද සිදී ගියේය. (එවිට) සිත්ගන්නා නෙළුම් හා මානෙල් සමූහය නමැති මැණික් රාශිය දිස් විය. එවිට දෙවැනි දින දිව්‍ය රථය ද නික්‌මුණේ ය.