ගුත්තිල කාව්‍ය 37
 

පඬි පුදයෙහි නොයෙක
බැඳි දද සැලෙනු දුර දැක
කර සප් කැලැයි සැක
පියා විදහා දිවෙන ගුරුලෙක


පඬිවරයාට පූජා පිණිස බඳනා ලද බොහෝ වු කොඩි සෙලවෙනු දුර දී දැකීමෙන්, සර්ප සමූහයකැයි සැක සිතී පියාපත් විදහා ගෙන වහා දිව එන්නා වූ ගුරුළෙකි.


සමහරු මෙ බන්දා
පවසති උන්ට නින්දා
වුවොත් ගුරු'ළින්දා
අඳුර දුර ලන රැස්‌ කොයින්දා


(තවත්) සමහර කෙනෙක්‌ ඔවුනට මෙබදු නින්දා බස්‌ කියති. ගුරුළු රජෙක්‌ නම් අන්ධකාරය දුරු කරන රශ්මි කොයින් ද?


ගුත්තිල ඇදුරු ලද
අප රදුට සිවුදිව් රද
සිදු කරණුව මෙ සඳ
මෙ එන සත්රුවන මය මනනඳ


ගුත්තිල ඇදුරු වැනියකු වූ අපගේ රජතුමාට මහ දිවසින් සතරෙහි රජකම ලබා දීමට පැමිණෙන්නා වු මනහර චක්‍ර රත්නය ම ය.
සිව් දිව් රඳ - චාතුර්ද්පික රාජ්‍යය
සත්රුවන - චක්‍රරත්නය


උන් බසින් නොවැළකි
දනන් පවසන විලසති
සක්‌ රුවන නම් සකි
නොයක්‌ රුවනු'දුල එක්‌ රතයෙකි


ඔවුන්ගේ වචනයෙන් නො නැවතුණු (ඇතැම්) ජනයා කියන අයුරු මේ ය. මිත්‍ර, (සත්) සක්‌රුවන නම් බොහෝ මැණික්‌වලින් බබළන එක්‌තරා රථයකි.


වැනෙයි සැඬ පවනෙහි
රනෙයි පෑ දද ගුවනෙහි
පෙනෙයි රන්සක්‌ මෙහි
පැනෙයි සුදු සිදු පෙළ ඉදිරියෙහි


මේ (පෙනෙන වස්‌තුවෙහි) රන්වන් පැහැ ඇති කොඩි තද සුළඟින් අහසෙහි ලෙළ දෙයි. රනින් කරන ලද රෝද පෙනේ. ඉදිරිපිට සුදු පාට අසුන් පෙළ පනිමින් එයි.


වෙණ නද ඇසීමට
ඇදුරා සුරිදු පුරයට
කැඳවා යන ලෙසට
එවු දිව රතයෙකැයි මෙ පුරට


වීණා නාදය ඇසීම පිණිස (ගුත්තිල) ඇදුරුතුමා සක්‌ දෙව් පුරයට කැඳවා ගෙන යනු පිණිස මේ නගරයට එවන ලද දිව්‍ය රථයකි.


කියමින් සිටි කලට
සඳ රිවි දහස්‌ එක විට
බටෙව් එළිකොට වට
පැමිණි දිව් රතය පඬි ගෙදොරට


මෙසේ කියමින් සිටින කල-සඳහිරු දහසක්‌ එක්‌ වර පැමිණියාක්‌ මෙන්, හාත්පස ආලෝකවත් කරමින් දිව්‍ය රථය පඬිතුමාගේ ගෙයි දොරකඩට පැමිණියේ ය.


එ සඳෙහි අප ඇදුරු
දිව රියෙහි උන් රියැ'දුරු
දැක සිට නො වී දුරු
මෙසේ පිළිවිසියේ ය තොරතුරු


එකල්හි අපගේ ඇදුරුතුමා දිව්‍ය රථයෙහි හුන් රථාචාර්යයා දැක, ඈත් නොවී (ළංව) සිට මෙලෙසින් තොරතුරු විමසී ය.


රන් ගිරි කුළු මුදුන
ළහිරු මඬලෙව් බබළන
රන් රතයෙහි මෙතැන
මෙ තොප කවරෙක්‌ ද දැන් දිළීසෙන


රත්රන් පර්වතයක්‌ (රන් ගිරි කුළු) මුදුනෙහි බබළන ළාහිරු මඬල සේ, දැන් මේ ස්‌ථානයෙහි බබළන රන් රථයෙහි (සිටින) මෙ තොප කවරෙක්‌ ද,


වෙයි ද අසුරින්දා
නැතහොත් සක්‌ දෙවින්දා
මසිත සැක සින්දා
කියව තොප නම් ගොත් කුමන්දා


ඔබ අසුර රජ වෙහි ද?, නැතහොත් සක්‌ දෙව් රජ වෙහි ද? මගේ සිතෙහි සැක දුර කර, ඔබගේ නම් ගොත් කිමෙක්‌ දැයි කියන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017