ගුත්තිල කාව්‍ය 36
 

ගෙන ගොස්‌ බරණැසට
ගුත්තිල ඇදුරු රතයට
නංවා අදර කොට
කීය කැඳවා එවයි මෙපුරට


බරණැස්‌ නුවරට (රැගෙන) ගොස්‌, ආදරය කරමින් ගුත්තිල ඇදුරු තුමා රථයට නංවා ගෙන මේ නගරයට කැඳවා ගෙන එන්න'යි පැවසීය.


එ සඳෙහි එ දෙව් සුත
ගුවන් සිඳු මැද ගමනොත
රන් නැව් යුතු එ රත
රැගෙන බරණැස්‌ පුරට යා ගත


එකල්හි ඒ දිව්‍යපුත්‍රයා අහස නමැති මුහුද මැද ගමනට වන් රනින් කළ නැවක්‌ වැනි ඒ රථය ගෙන බරණැස්‌ නුවරට ගමන් ගත්තේ ය.


නන් දද නෙලෙන් සැඩ
කෙරෙමින් වලා කඩ කඩ
රැසින් ගනදුරු මැඩ
අසා දිව එන රියෙහි සක්‌ හඬ


නොයෙක්‌ කොඩිවලින් හට ගන්නා තද සුළඟින් වලාකුළු කැබලි කැබලි කරමින් රශ්මියෙන් ගන අදුර නැති කර දමමින්, දුවගෙන එන රථයෙහි රෝදවල හඬ අසා.
නෙලෙන් - සුළඟින්


ඒ පුර වැසි දන රැස
තමන් දොර දොර එළි බැස
වඩා කුහුල'ද හස
නරඹ නරඹා සිටින පෙර දෙස


ඒ නගරයෙහි වසන ජන සමූහය තම තමන්ගේ නිවෙස්‌වලින් එළියට බැස කුහුල් සිත් වඩවමින් නැගෙනහිර දිසාව බලබලා සිටින ලක්‌හි-


සිය රැළියෙන් සොඳුරු
විදුලිය වළින් තහවුරු
සඳ වෙල කළු අයුරු
පෙනිණි ගන රන් රසය විසිතුරු


සිය ගණන් රැළිවලින් සුන්දර වු ස්‌ථිර ව පවතින විදුලිය වැළඳ ගත් සැඳෑ වලාකුළක්‌ බඳු, අලංකාර වු තනි රනින් නිමවන ලද රථය පෙනුණේ ය.


දුර දුටුයෙන් වෙනස
දැන ගත නොහී ඇති ලෙස
සමහර දන මෙලෙස
කියති සිට තම සිතෙහි අදහස


ඇතැම් කෙනෙක්‌ රථය දුර දී දක්‌වා ලද බැවින්, වෙනස තත් වූ පරිද්දෙන් දැන ගත නොහැකි ව සිට තමන්ගේ සිතෙහි පහළ වු අදහස්‌ මේ ආකාරයෙන් පවසති.


කියනු කින වෙන මේ
අප පඬි සඳුගෙ මහිමේ
දකින ලෙස මෙසමේ
දිවෙන පර සක්‌වල සඳෙකි මේ


වෙන ම (දෙයක්‌ ආරෝපණය කර) කියන්නේ කුමකට ද? මේ වනාහි මේ කාලයෙහි අපගේ (ගුත්තිල) පඬිතුමාගේ මහිමය දකිනු පිණිස පිට සක්‌වළක සිට වේගයෙන් දිව එන්නා වූ සඳකි.


උන් බස කර නිසරු
මෙලෙසින් කියති සමහරු
නොදොඩවු තෙපි වියරු
සඳෙක්‌ නම් සලකුණෙන් වෙද දුරු


ඔවුන්ගේ කීම නිසරු (බවට පත්) කරමින්, සමහරු මේ අයුරින් පවසති. තෙපි විකාර බස්‌ නො කියවු, (ඒ) සඳක්‌ නම් හාවාගේ ලකුණෙන් (සස ලපයෙන්) තොර වේ ද?


අප පඬිගෙ ජය කෙළි
කෙළිනට නොවන ලෙස මැළී
කෙරෙමින් දස'ත එළී
උදා වන රිවි මඬල ම ය යළී


අපේ පඬිවරයාගේ ජයග්‍රහණය පිළිබඳ උත්සව ක්‍රීඩා පැවැත්වීමට උනන්දුවනු (මැළි නොවන) පිණිස දස දිසාවන් ආලෝකවත් කරමින් නැවත පායන සූර්ය මණ්‌ඩලය ම ය.


උන් බස මැඩ එකල
අයෙක්‌ පවසති මෙතෙපල
වුවහොත් රිවි මඬල
පියුම් නොපිපෙද මෙහි ගෙදිගුවිල


එකල්හි ඔවුන්ගේ වදන් යටපත් කොට ඇතැම් කෙනෙක්‌ මේ වදන් කියත්. හිරු මඬල වේ නම්, ගෙය අසල වු විලෙහි පියුම් නොපිපේ ද ?
ගෙ දිගු විල් (ගෘහ දීර්ඝිකා තටාක) - අලංකාරයට ගේ අසල සාදන පියුම් පොකුණු.

(c) Shilpa Sayura Foundation 2006-2017