ගුත්තිල කාව්‍ය 35
 

තුරු බුබුළෙන් දිමුත
එම රැස්‌ මලෝලඹු ගත
නිල් නුබ වියන් යුත
සියල් දිය ජය මගුල් මැඳුරත


තාරකා නමැති බුබුළුවලින් බබළන, ඒ තාරකාවලින් ම නික්‌මෙන, රශ්මි නමැති එල්ලන ලද මල් ඇති, නිල්පාට අහස නමැති වියනින් යුත් මුළු ලොව නමැති ජය මගුල් හෙය ඇතුළෙහි.


පුන්සඳ සඳුන් කඩ
උදය'ග සණෙහි ගා මැඩ
ගෙන රැස්‌ සඳුන් මඩ
නිසා කල් ගත් කල්හි පිරිබඩ


පුරහඳ නමැති සඳුන් කැබැල්ල උදය පර්වතය නමැති ගලෙහි ගාවා සුණු කොට රශ්මි නමැති සඳුන් කලල් ගෙන, රාත්‍රී නමැති කාන්තාව ආලේප කර ගත් කල්හි.
කඩ - ඛණ්‌ඩ - කැබැල්ල
පිරිබඩ - ආලේප කිරීම.


සුරසේ සහ නොමඳ
සිය සුරපුරට ගොස්‌ වැද
සක්‌ දෙවිදු උන් සඳ
සිහිල් පඬු'පුල් සල'ස්‌සේ සොඳ


සක්‌ දෙව් රජ බොහෝ වූ දෙව් සෙනඟ සමඟ තමාගේ දෙව් පුරයට (ආපසු) ගොස්‌ ඇතුල් ව, සීතල වූ යහපත් පාණ්‌ඩුකම්බල ශෛලාසනයෙහි සිටිනා විට,


පුල් නිලුපුලැ'සියෝ
මියුරු පිල් වරලැසියෝ
වැඳ සුර විලසියෝ
සුරිඳු ගිය කරණු පිළිවිසියෝ


පිපුණු නිල් මානෙල් මල් වැනි, මොනරුන්ගේ පිල් කලඹ වැනි කෙස්‌ වැටි ඇති දෙවඟනෝ දෙව් රජු නමැද (මිනිස්‌ ලොවට) ගිය හේතුව කුමක්‌ දැයි විමසූහ.


කරන තොප කන් කලු
පන්සිළු පසු කරන සුලු
වෙණ වැයුමෙන් සියලු
ගදඹ කුල සිළුමිණෙක සිරි'සිලු


තොපගේ සිත් ඇදගන්නා වුපඤ්චසිඛයා පවා පසු බස්‌වන සුලු වීණා වාදයෙන් සියලු ගාන්ධර්ව සමූහයාට සිළුමිණෙක ආකාරය දැරුවා වූ-
සුලු - (ශිලි) ස්‌වභාව ඇති.


ගුත්තිල නම් ඇදුරු
සුන් තත් වෙණෙහි විසිතුරු
නද අසනුව සොඳුරු
මම ද ගියෙමියි කීය පුර'ඳුරු


ගුත්තිල නම් ඇදුරුතුමාගේ සිඳිනා ලද තත් ඇති වීණායෙහි යහපත් වූ විචිත්‍ර නාදය අසනු පිණිස, මමත් ගියෙමි'යි සක්‌දෙව් රජ කී ය.


සුරිඳුගෙ ඒ බස'සා
සුරත් මුදුනත් සලසා
සිට සුර'ගන රැසා
දෙවිඳු හට සැළ කළෝ මෙලෙසා


දෙව'ඟන සමූහයා සක්‌ රජුගේ ඒ වචන අසා දෑත් මුදුනෙහි තබා ගෙන සිටිමින්, දෙව්රජුට මේ අයුරින් දැන්වූහ.


යන්ට බරණැස්‌සමු
දෙව නැත ඔහු තොපැස්‌සමු
කවර අප ඇස්‌සමු
අපි දු වෙණ නද අසනු රිස්‌සමු


බරණැස්‌ නුවරට යන්ට අවසර දෙන්න. නැතහොත් ඔබගේ ඇසට හමු වු (ඔබ දුටු) ඒ ගුත්තිල ඇදුරු අපගේ ඇසට හමු කරන්න (පෙන්වන්න) අපිත් වීණා නාදය අසන්නට කැමැත්තම්හ.


උන් බස්‌ ළෙන් දරා
මාතලි නම් රියැදුරා
අමතා පුරදරා
මෙසේ පැවසිය බස්‌ ඉඳුරා


දෙව් රජ ඔවුන් කී වදන් සිතට ගෙන මාතලී නම් වූ රථචාර්යයාව ආමන්ත්‍රණය කොට මෙබඳු වදන් නියත කොට පැවසීය.


දහසක්‌ සිඳු යොදා
විජයොත් රතය පබඳා
ලොව කැලුමෙන් රඳා
දිලෙන රන්දද පෙළින් සුසඳා


ප්‍රසිද්ධ වූ වෛජයන්ත නම් රථය, අසුන් දහසක්‌ යොදා ලෝකය කාන්තියෙන් පැතිරෙන ලෙස, බබළන රත්රන් කොඩි පෙළින් මැනවින් සරසා,

(c) Shilpa Sayura Foundation 2006-2017