ගුත්තිල කාව්‍ය 34
 


 

පොරණ පැන ගජකුඹුතලා
මරණ පත් මෙන් කැණහිලා
උරණ වෙමින'ප ඇදුරුලා
මරණ පත් විය මූසිලා

පුරාණ කාලයෙහි ඇතෙකුගේ කුම්භස්‌ථලයට පැනීමෙන් හිවලකු මරණයට පැමිණියාක්‌ මෙන් අපගේ ගුරුතුමා කෙරෙහි සතුරු වීමෙන් මූසිලයා මරණයට පත් විය.


මෙසේ ජය කොලහල
පැතිරෙත පුර දෙරණ තල
ලත් පුද සිරි විපුල
මෙ අප බෝසත් ඇදුරු ගුත්තිල


මේ ආකාරයෙන් දිනීම නිසා වූ කැලඹීම නුවර බිමෙහි පැතිර යන කල්හි, බොහෝ වූ පුදපඬුරු ලැබූ මේ අපගේ බෝධිසත්ව ගුත්තිල ඇදුරුතුමාණෝ-


ලත් දන දී දනට
බැඳ ජය කෙහෙලි දිගුයට
කර සිත සිත සතුට
ගියේ පුද පෙරහරින් තම ගෙට


ලැබුනා වු ධනය දන් දී දිශා නමැති ජය කොඩි බැඳ, ජනයාගේ සිත්හි, සන්තෝෂය ඇති කෙරෙමින් පුද පෙරහරින්, යුතු ව තමන්ගේ ගෙට ගියහ.


ජයකෙළි කෙළින සත
තැවෙතියි සිතා දො ගත
සැඩ කිරණ දසඅත
රැගෙන දිනිඳු ද අවරගිර පත


ජය ක්‍රීඩා කරන්නා වූ, මිනිසුන්ගේ සිරුර තැවෙති යි සිතා මෙන් සැඩ රැස්‌ දහස හකුළා ගෙ හිරු ද බැස ගියේ ය.


මූසිලයා සතන
පිරුණු සෝ දුක්‌ විලසින
දිගු බිත වසා ගෙන
වදිත ගනඳිරු කඳ පැතිර ගෙන


මූසිලයාගේ පිරුණා වූ ශෝක දුකෙහි ආකාරයෙන්, දිශා නමැති බිත්ති වසා ගනිමින් ගන අඳුර පැතිරී ගෙන ඇතුළු වන අවස්‌ථාවේ දී-


ලෙස රුදුරු වෙණ නද
මියුරු නැත මී තොප බඳ
ඉන් තඹර මුවරද
නොදෙම්මැයි බිඟුනෙ'ලෙවු විල් ලද


(ගුත්තිල) ඇදුරුතුමාගේ වීණා නාදය මෙන් තොප විසින් බඳින ලද මී මිහිරි නැත. එහෙයින් නෙළුම් මල් පැණි නො දෙමි යි විල් නමැති කාන්තාව මී මැස්‌සන් එළවා ගත්තා ය.


බිඳ ඳුරු කඳ රැසින්
පහළ තුරු රැස්‌ වෙසෙසින්
තුටුව සුර විලසින්
විසුළ අසෙනිය කුසුම් විලසින්


රශ්මියෙන් අඳුරු රැස්‌ බිඳ හරිමින් පහළ වූ තාරකා රාශිය දෙවඟනන් විශේෂයෙන් සතුටට පැමිණ විසුරුවන ලද විළඳ වැනි විය.


එතෙර පැළ දිගු ලද
සඳ වෙල පටදුහුල් හැඳ
තුරු වැළ හර පැළද
සැරුණු වැනි ජයකෙළි කෙළින ලෙද


එකල්හි, බටහිර නමැති කාන්තාව, සැඳෑ වලාකුළු නමැති පටවස්‌ත්‍රය හැඳ ගෙන, තාරකා සමූහය (පෙළ) වැනි වූ මුතුහර පැළඳ ගෙන, ජය ක්‍රීඩා පවත්වණු පිණිස සැරසුනාක්‌ මෙන් විය.


ජය කෙළියට රහසේ
දැක සැරසුණත් නොවිතර
තෙමෙද කුමුදාකර
පුබුදු කුමුදින් ගතෙව් සුද'හර


එකල්හි, ජය ක්‍රීඩා සඳහා සැරසුණු අප්‍රමාණ ජනයා, දැකීමෙන්, කුමුදු වනය තමන් ද පිපුණු කුමුදු මලින් සුදු පැහැ ඇති ඇග ගල්වන සුණු තවරාගත්තා වැනි ය.


සඳ කිරණෙහි ගැලී
වැහෙන සඳකත් සිලිලී
ජය කෙළි දැක බලී
ගලන තුටු කදුළු සිරි කියෙලී


සඳරැස්‌හි වැටීමෙන් (ගැලීමෙන්) චන්ද්‍ර කාන්ත පාෂාණයෙන් වැගිරෙන ජලය, මහත් වු ජය ක්‍රීඩා දැකීමෙන් වැගිරෙන්නා වු සතුටු කදුළුවල ආකාරය ගත්තේ ය.
සදකත - චන්ද්‍රකාන්ත - සිහිල් ගුණය ඇති තිරිවාණ බඳු සුදුපාට ගල් වර්ගයකි.
සිලිලී - සිලිල් - ජලය.

(c) Shilpa Sayura Foundation 2006-2017