ගුත්තිල කාව්‍ය 33
 

ඒ පුර සත සිත තොස හෙළා
විජය පුද කෙළි කෙළ කෙළා
පිළී හිස වට වෙළ වෙළා
රැපැයි ඔහු යස සිදු සළා


සිතෙහි සතුට ඇතිකොට, දිනුමට කරන පූජා මෙන් වු ක්‍රීඩා පවත්වමින්, ඒ නගරයෙහි මිනිස්‌සු, සළු හිස වටා වනමින් ඔහුගේ (බෝසතුන්ගේ) කීර්ති නමැති මුහුදෙහි රැල්ලක ආකාරය දැක්‌වූහ.


එතෙර නුබ මුරු බෙර හඬින්
දෙරණ දෙන ජය බෙර හඬින්
දනන් තුඩ ඔල්වර හඬින්
දිගත් පිරි පිළිරැව් හඬින්


එකල්හි අහස දෙවියන් වයන බෙර හඬින් ද, පොළොව (මිනිසුන්) වයන ජය බෙර හඬින් ද, ජනයාගේ ජය ඝෝෂාවෙන් ද, දිසා කෙළවර තෙක්‌ (එකෙණෙහි ම) රාව ප්‍රතිරාව පැතිර ගියේය.


නොයෙක්‌ වෙස්‌ ගෙණ රුති රුති
ගියෙක්‌ කර කියමින් තුති
අයෙක්‌ සිත තොස නොනැවති
සියෙක්‌ රඟ රඟ පෑ යෙති


සමහර කෙනෙක්‌ කැමති කැමති නොයෙක්‌ වෙස්‌ ගෙන ස්‌තුති ගීතිකා (එක්‌කර ගොතා) කියමින්, සිතෙහි පිරි සන්තෝෂයෙන්, එක්‌ සිය අයුරක නැටුම් නටමින් යති.


තවර කර ගත දැලිගුරු
විකර වෙස්‌ගෙන විසිතුරු
එපුර දොර දොර නිරතුරු
පැතිර රහ දෙති සමහරු


නගරයෙහි ඇතැම් කෙනෙක්‌ සිරුරෙහි දැලි අඟුරු තවරාගෙන නොයෙක්‌ ආකාර විකාර වෙස්‌ ගෙන ගෙයක්‌ දොරක්‌ පාසා යමින් නිතර නටති.


එපුර ජිය උත්සව සැදූ
විලස පවසනු කිම උදූ
නො හඳුනන පෙර රිවිසඳූ
බැහැර කෙළ කෙළ යෙති ලදූ


ඒ නගරය ජය උත්සවයෙන් සැරසුණු ආකාරය කෙළින් ම පවසන්නේ කෙසේ ද ? (එයට) කලින් හිර සඳ නො හඳුනන්නා වූ කාන්තාවෝ පිටත ක්‍රීඩා කරමින් ඇවිදිති.
උදු - සෘජු - කෙළින්


නොමින් සත සිත තොස සැපත්
කනින් කන අමපිරිසෙ වත්
තැනින් තැන බෝසත් පුවත්
උනුන් හට මෙලෙසින් කියත්


දනන්ගේ සිතට පැමිණි, පමණ නොකළ හැකි සතුට කනක්‌ පාසා අමෘතයෙන් පිරුණාක්‌ මෙන් වන කල්හි, බෝසතාණන්ගේ පුවත් ඒ ඒ තැන්හි ඔවුනොවුන්ට මේ අයුරින් පවසත්.


රුදුරු ගුණ දසගිව් සඳා
පසිඳු වූ ලෙස රම්රඳා
විරුදු මූසිලයා සඳ
පසිඳු විය අප පඬිසඳා


නපුරු ගුණ ඇති රාවණයා නිසා රාම රජු ප්‍රසිද්ධ වූ පරිද්දෙන්, සතුරු වූ මූසිලයා නිසා අපගේ උතුම් පඬිතුමා ප්‍රසිද්ධ විය.
දසගිව් - දශශ්‍රීව - රාවණා.


අරිටු ලිය නුගුණය නිසා
අසිරි මිණ ලත් මෙන් කුසා
!මදුටු මූසිලයා නිසා
නුදුටු දෙය දුටුවමු ඇසා


අයහපත් ගැහැනියගේ දුර්ගුණය නිසා කුස රජු විශ්මය ජනක මැණික ලැබූවාක්‌ සේ මේ දුෂ්ට මූසිලයා නිසා (පෙර) නොදැක්‌ක දෙය ඇසින් දුටුවමු.


දුටුමු පුර'ඟන මිහිතෙලේ
නොතත් වෙණ නද මනකලේ
ඇසුමු අපි ඉන් එක කලේ
ලදුමු ඇස්‌ කන් ලත් පලේ


දෙවඟනන් පොඛොවෙහි (සිටිනු) දුටුවෙමු. තත් නැති වීණාවෙන් නගින මනහර නාදය ඇසුවෙමු. එහෙයින් අපි ඇස්‌ ලැබීමෙහිත්, කන් ලැබීමෙහිත් පල එක වර ලැබුවෙමු.


දනෝ සවනත හුණුමතින්
තමුන් තම නොදනිති මතින්
එවන් වෙණනද සුන් තතින්
කිකල් අසමු ද අපි ඉතින්


ජනයෝ කනෙහි වැටුණු පමණින් මත් වීම නිසා තමන් තමා බව නොදැන ගනිති. එබඳු වූ තත් සිඳින ලද වීණාවෙන් නගින වීණා නාදය අපි ඉතින් (ඉන් පසු) කවර කලෙක අසමු ද ?

(c) Shilpa Sayura Foundation 2006-2017