බැඳී විළි කඹයෙන්
තැති ගෙන ජය සකොබයෙන්
උන් මූසිල බයෙන්
පිටත් කෙළෙ එ රජ රජ සබයෙන්
ඒ රජ, ලජ්ජාව නමැති කඹයෙන් බැඳි ජය ඝෝෂාවේ කැලඹීමෙන් තැති ගත් බියෙන් සිටි මූසිල රාජ සභාවෙන් පිටත යැවී ය.
යන ඔහු අසරණින්
දුටු දුටු දනෝ උරණින්
තමන්බල පමණින්
දෙමින් බැට කැට මුගුරු පහණින්
අසරණව යන ඔහු දුටු ජනයා, කෝපයෙන් යුතු ව, තමන්ගේ ශක්‌ති ප්‍රමාණයෙන් කැට මුගුරු සහ ගල්වලින් පහර දෙමින්,
මූසිල මෙ පුර තට
නුවරෙක් නො වෙයි ඉඳිනට
ඉන් තෝ මෙහි නොසිට
යවයි නෙරපු ය තම පුරයට
මූසිල, මේ නගරය තොපට විසීමට සුදුසු නගරයක් නොවෙයි. එහෙයින් තෝ මේ නගරයෙහි නො සිට තම පුරයට යව යි පන්නා දැමී ය.
(පැරණි සංස්‌කරණවල 'යම පුරයට' කියා යොදා ඇත. යක්‌කඩුවේ ප්‍රඥාරාම හිමියන්ගේ ගුත්තිල විචාර විචාරයෙහි 'තම පුරයට' යන්න නිවැරදි බව පැරැණි පුස්‌කොල පොත්වල පාඨාන්තරයක් දක්‌වමින් සනාථ කර ඇත)
තොස් සිදු මැද පිවිසි
වස් වත සුරන් මල් වැසි
ලෙසින් සිවු දිව් වැසි
නිරිඳු වැස් වී සත්රුවන් වැසි
සතුටු මුහුද මැදට පැමිණි දෙවියන් විසින් මල්වැසි වස්‌සද්දී, රජු, 'සිව් දිව් වැසි' මෙන් සත්රුවන් වැසි වැස්‌වීය.
සිව් දිව් - පැරණි බෙදුමට අනුව ලෝකයේ ප්‍රධාන කොටස් හතරකි. එනම් පූර්ව විදේහය, අපර ගෝයාන, උතුරුකුරු දිවයින, ජම්බුද්වීපය යන සතරයි. මේ කොටස් සතරට එක විට වසින වර්ෂාව මෙහි දී අදහස් කෙරේ.
වෙණ සිඳුගෙන් මදූ
පුබුදු කළ මන කුමුදූ
බෝසත් හට පිදූ
කිරුළු සුවහස් පෙදෙස් නිරිඳූ
මෘදු වූ වීණා නමැති චන්ද්‍රයා ගෙන් පුබුදු වූ සිත් නමැති කුමුදු මල් ඇති පදේශ රජවරුන් බෝසතාණන්ට සිය දහස් ගණන් ඔටුනු පිදූහ.
බන් මිණි මුතු පබළු
රන් හූ සමග සුලකුළු
ගෙන පෙරෙවි'තුරු සළු
දැමූ සතොසින් පෙවෙ විස්‌මුළු
පුරෝහිත බ්‍රාහ්මණ සමූහයා මැණික්, මුතු පබළු බඳනා ලද, මැනවින් අලාංකාර කළ රන්මුවා නූල් සමඟ පොරවාගෙන සිටි උතුරු සළු ගෙන සතුටින් තෑගි පිණිස දැමූහ.
තොස් සිඳු කිමින්දෝ
තමන් ගුණ නොම සින්දෝ
එදිනෙහි වෙළෙන්දෝ
දැමූ නන් වතිනි කදු බැන්දෝ
ඒ දවසෙහි, සතුටු සයුරෙහි ගිලුනා වූ, තම ගතිය අමතක නොකළා වු වෙළෙන්දෝ (තෑගි පිණිස) දමන ලද නොයෙක් වස්‌තු ගොඩ (ගැසීමෙන්) කදු බැන්දා මෙන් විය.
මහ බෝසතුන් වෙණ
නදින් සතුටු ව අපමණ
සපිරු ඇමති ගණ
ගණන් නොදැනෙන දනින් රජගණ
බෝසතාණන්ගේ වීණා නාදයෙන් ප්‍රමාණ කළ නොහැකි සතුටට පැමිණි, ඇමති සමූහයා මෙපමණ යැයි ගණනක් නොදත හැකි ධනයෙන් රජ මිදුල පිරවී ය.
සතුටුව වෙණ නදින
දැමූයෙන්පලන් පලදන
කදුලෙන් නුව'නදන
ගියෙන් වනසිරිසිලූ පුරගන
වීණා නාදයෙන් සතුටු වී, පැලද සිටි අබරණ (පුද පඬුරු කොට) දැමූ බැවින් ද ඇස්‌හි වූ අඳුන් සතුටු කදුළින් සේදී ගිය බැවින් ද, පුරවැසි කාන්තාවෝ විරහිණි විලාශය (සැමියාගෙන් ඈත් ව වෙස්‌සන්තගේ ආකාරය) දැරූහ.
වනසිරි - විරහ ස්‌වභාවය.
පහළ'ඹරමුරු බෙර
පිළිරැව් ලෙසින් මනහර
වයති පුර දොර දොර
දහස් සුවහස් ගණන් ජයබෙර
අහසෙහි පහළ වු (වයන ලද) දෙවියන්ගේ සිත්කලු බෙර හඬෙහි දෝංකාරය මෙන්, නගරයෙහි ගෙදොරක් දෙදොරක් පාසා දහස් ගණන්, සිය දහස් ගණන් ජය (නිමිති කොට වයන) බෙර (මිනිස්‌සු) වයති.
![](/sayura/images/logo2.png)