ගුත්තිල කාව්‍ය 31
 

පටන් සුරිඳු දුන් උපදෙස්‌ සිහි කොට
ඉටත් බෙලෙන් දැමුයෙන් ගුළි අහසට
තුටන් වඩන සුර අඟනෝ බැස සිට
පටන් ගත්තු නව සියයක්‌ නැටුමට


මුලදී සක්‌ දෙව් රජු විසින් දෙන ලද උපදෙස්‌, සිහිපත් කොට අධිෂ්ඨාන බලයෙන් යුතු ව ගුළි (තුන) අහසට දැමූ විට, සතුට වැඩි කරන නවසියයක්‌ දෙවඟනෝ බැස නටන්නට පටන් ගත්හ.


ළඟ ලඟවා උනුනට කර වාදය
නො වරදවා වීණා පද වාදය
රහ අඟවා සුරඟන රඟ බේදය
සෙද කරවා රජ සබය පබෝදය


ඔවුනොවුන් හා ළං ළංව තරඟ කරමින්, වයන වීණා නාදයට අනුකුලව, දෙවඟනන්ගේ නෘත්‍ය විලාසයන්හි ආකාර දක්‌වමින්, වහා රාජ සභාව ප්‍රබෝධවත් කරවමින්,


යටැ'සින් ලන බැල්මෙන් සුර විලසී
වෙසෙසින් දන මන මත් කර එකසී
අහසින් බැස රඟ ගත් රඟ කෙලෙසී
දිසි මෙන් විය විදුලිය සිය දහසී


සුරඟනන් යටැසින් බලන බැල්මෙන්, විශේෂයෙන් දනන්ගේ සිත්, එක සේ මත් කොට, අහසින් බැස, නැටුම් කළ ආකාරය කෙසේ ද (යත්) සිය දහස්‌ ගණන් විදුලිය පෙණුනා වැනි විය.


දිමුතු යසස්‌ වන් කුසුම සරාගේ
නුමුතු සුවඳ මල් පැළඳ සරාගේ
දකිතු රඟන සුරඟ'න රහ ලාගේ
උමතු නොවෙද කෙලෙසක සිත කාගේ


අනංන්ගයාගේ දීප්තිමත් කීර්තිය වැනි, සුවඳින් තොර නො වු පැහැපත් මල් පැළඳ ගෙන නටන්නාවු, දෙවඟනන්ගේ නැටුමෙහි ආකාරය දකින කල්හි කවරකුගේ සිත කෙසේ නම් උමතු නොවේද?


රූ රැසේ අදිනා ලෙසේ අත් ලෙළ දිදී විදුලිය පබා
රන් රසේ එක්‌ වන ලෙසේ වෙණ නාද'නු පා තබ තබා
කම් පසේ දෙන සැර ලෙසේ දෙස බල බලා නෙතඟින් සබා
මම් කෙසේ පවසම් එසේ වර සුර ලදුන් දුන් රඟ සොබා


රූප සමූහයක්‌ අඳින්නාක්‌ මෙන්, විදුලිය බදු කාන්තිය ඇති අත් ලෙළවමින්, රන් සහ රසදිය එකතු වන්නාක්‌ මෙන්, වීණා නාදයට අනුව පා තබමින් අනංගයා ඊතල විඳින ආකාරයෙන් ඇස්‌ කොනින් සභාව දෙස බලමින් උතුම් දෙවඟනන් එසේ දැක්‌වූ නැටුමෙහි ස්‌වභාවය මම කවර ලෙසකින් පවසන්නෙම් ද ?


පුන් මදාරා මල් දමින් මුදු දිගු සුනිල් වරලස ගොතා
මන් මදා කිතු ලිය ලෙසින් උර'තුර සරා දිලි මුතු ලතා
මන් නදා වන මිණි මෙවුල් නද වෙණ නදින් එක්‌ කොට ඉතා
උන් එදා දුන් රඟ දුටොත් තව සක්‌ සැපක්‌ කවරෙක්‌ පතා


පිපුණු මදාරා මල්මාලා වලින්, සුනිදු වු ඉතා නිල්පාට දිග කෙස්‌ වැටිය ගොතා ගෙන, අනංගයාගේ කීර්ති ලතාව මෙන් බබළන මුතු පටින් ළමැද සරසා ගෙන, සිත සතුටු කරවන මිණි මෙවුල් දමෙහි නාදය වීණා නාදය සමඟ බෙහෙවින් එකතු කරමින්, ඒ දිනයෙහි ඒ සුරඟනන් දැක්‌වූ නැටුම් දුට හොත්, අමුතුවෙන් සක්‌ දෙව් සැපතක්‌ කවරෙක්‌ පතන්නේ ද ?


පිපි සමන් කුසුමන් පටින් තන රන හසුන් මන් මෙන් බැඳේ
ළඹ සවන් දිගු රන් පසින් දන නෙත් මුවන් බඳිමින් තදේ
මද පවන් වැද ලෙල පහන් සිළු මෙන් රැඟුම් දෙන රන් බඳේ
දිලි ඔවුන් රූ සිරි නුවන් වන් බඹ වුවත් දැහැනින් මිදේ


පිපුනා වු සමන් මල්න් ගෙතු පටියෙන් පියොවුරු නමැති හංසයන් සිත් සේ බැඳ, එල්ලෙන්නා වු කන් නමැති දික්‌ වු රන් පුඩුවලින් ජනයාගේ ඇස්‌ නමැති මුවන් තදින් බැඳ තබමින් මඳ සුළඟ වැදීමෙන් ලෙළ දෙන පහන් සිළු මෙන් නැටුම් දක්‌වන රන්වන් පාට සිරුරෙන් බබළන, ඒ සුරඟනන්ගේ රූපශ්‍රි[ය දුටු බ්‍රහ්මයා වුව ද ධ්‍යානයෙන් පිරිහෙයි.


පා පියුම් බිගු රොන් පළාවන් දිලි රුවන් නූපුර ගොසේ
පාද ගම් රා නාද'නු කොට ගත් නැටුම් සුර'හන රැසේ
ලූ බැලුම් පමණින් සුරන් සිත් මත් කෙරෙත් මැයි නොකමසේ
ඒ රැඟුම් රහ දුටු දනන් නුමුළා වෙතියි පවසමි කෙසේ


පාද නමැති නෙළුම් මල්හි වු මීමැස්‌සන්ගෙන් යුත් රොන් සුළි මෙන් බබළන මිණි සලඹවල හඬත්, පාදගම්වල හඬත් (වීණා නාදය) අනුව හඟවමින්, නටන්නට පටන්ගත් දෙවඟන සමූහය බැලුම් හෙලූ පමණකින් දෙවියන්ගේ සිත්, ඒකාන්තයෙන් මත් කෙරෙත් ම ය. ඒ නැටුමෙහි ආකාරය දුටු ජනයා මුළා නො වෙති යි කෙසේ පවසන්නෙම් ද ?


පෑ උපුල් සිතියම් ලෙසින් සිටිනේ සුරන් සහ සක්‌ නුබේ
රූ නිමල් සුරලිය තොසින් බැස රහ කෙරෙත් නර රජ සබේ
මීරි කල් තත්සුන් වෙණින් බෝසත් ඔවුන් කරවයි ලොබේ
මේ සයල් විසිතුරු උතුම් එක තැන දැකුම් කිකලෙක ලැබේ


පැහැයෙන් බබළන සිතියම් අයුරින් දෙවියන් සමඟ සක්‌ දෙව් රජ තෙමේ අහසෙහි සිටියි. රූපයෙන් නිර්මල වු දෙවඟනෝ අහසින් බැස මිනිස්‌ රජ සබයෙහි සතුටින් නටත්. බෝසතාණෝ මිහිරි වූ ද, සිත් ඇද ගන්නා වු ද, තත් සිඳිනා ලද වීණාවෙන් ඔවුන්ගේ ආශාව වැඩි කරවති. උත්තම වූ මේ සියලු විසිතුරු දෙවල්, එක්‌ ස්‌ථානයක දැකීම කවර කලෙක ලැබේ ද ?


නද වෙණ නද සමග
කරවන දනන් මන දග
සුරඟන රඟන රඟ
බලා තුටු වී නිරිඳු දියත'ග


සිත් සතුටු කරන වීණා නාදය සමඟ මිනිසුන්ගේ සිත් කළඹමින සුර ලියන් නටන අයුර බලා, ලොවට නායක වු රජ සතුටු විය.

(c) Shilpa Sayura Foundation 2006-2017