තත මතු ද සින්දේ
පිළිමල් අප ද සින්දේ
යස දිගත ඇන්දේ
විජය සිරිසඳ ගෙන වැළැන්දේ
සිඳින ලද්දේ තත පමණක් නොවේ. ප්රතිමල්ලවයාගේ ආඩම්බරය ද සිඳ දැමී ය. කීර්තිය දස දිසාවෙහි පැතිරවී ය. ජයග්‍රහණය නමැති ශ්‍රී කාන්තාව වැළඳ ගත්තේ ය.
සුන් එතතින් එසඳ
පසු කර සුරන් වෙණ නද
දියුණු දියුණුව නද
නික්ම පැතිරෙන දසත විනිවිද
සිඳින ලද තතින් ඒ වෙලාවේ දෙවියන්ගේ වීණා පසුකර නාදය ක්‍රමයෙන් දියුණු වෙමින් දස දිසාවන්හි විනිවිද යමින් නාදය පැතිරෙන කල්හි.
කෙළෙහි ගුණ සින්දේ
මූසිල අන්දමන්දේ
ජයෙහි ලොබ බැන්දේ
තමා වීණා තත ද සින්දේ
කළ ගුණ සිඳ දැමූ අඥාන වු මූසිල ජය ගැනීමේ අසාවෙන් තමාගේ වීණා තත ද සිඳ දැමී ය.
අනුවණකම් කෙළේ
ගුරුන් අණ සිහි නොකෙළේ
නද ඉන් නො පතළේ
අයස ම ය මුළු දියත පතළේ
ගුරුතුමාගේ ගුණ සිහි නො කළ (ඒ මූසිලයා) මෝඩ කම් කළේ ය. එයින් නාදය නො පැතුරුණේ ය. මුළු ලොව පැතිර ගියේ අපකීර්තියමැයි.
දෙවැනි තුන් වැනි තත
සතර වැනි පස් වැනි තත
ස වැනි සත් වැනි තත
මෙසේ සිඳි සඳ මෙ අප බෝසත
මේ අපගේ බෝසතාණන් දෙවන තුන් වන තත් ද සිව් වන පස් වන තත් ද ස වන සත්වන තත් ද (මුල් තත සිදී සේ) මේ ආකාරයෙන් සිඳ දැමූ කල්හි.
දිය දිය ගොස පළ කෙරෙමින් සපැමිණි
ගිය ගිය තැන ඉස්වා රන් මුතු මිණි
ගිය ගිය දිය නද එන මෙන් ගෙන මිණි
සිය සිය ගුණයෙන් වෙණ නද නික්මිණි
සම්ප්‍රාප්ත වු ජය ඝෝෂය ලොවෙහි පතළ (ව්‍යාප්ත) කරමින්, (ඒ ජය හඬ) පැතිරුණා වු තැන්වල රත්රන් මුතු මැණික් ඉස්වමින් ගියා වු ජය පිළිරැව් (දෝංකාරය) ද රැගෙන (ආපසු) එන්නාක් මෙන්, සියක් සියක් ගුණයෙන් (වැඩි වැඩියෙන්) වීණා නාදය නිකුත් වූයේ ය.
පියසන් නොව බිගු දැල් රැඳි කොපුලී
අවසන් නොව වෙණ නදට ම කුහුලී
මද සන්සුන් පියොවින් සිටි නොසැලී
ගජසෙන් සිතියම් ගජසිරි කීයෙලි
පියාපත් ගැසීමක් නැති මීමැසි සමූහයාගෙන් ගැවසී ගත් කන්මුල් ඇත, වීණා නාදය කෙරෙහි ම අවසානයක් නැති කුතුහලය දක්වමින් මද සිදී ගිය ස්වභාවයෙන් නො සෙල්වී සිටින, ඇත් සේනාව සිතියමක අඳින ලද ඇතුන්ගේ ආකාරය දැක්වී ය.
කන් කලු වෙණ නද ඇසුමෙහි ලොබිනේ
රන් රසුදැල් කොලහල වන බියෙනේ
සන්සල නොව එහි පිළිරූ ලෙසිනේ
නන් හයසෙන් සිටියෝ සිටිමතිනේ
කන් පිනවන වීණා නාදය ඇසීමට ඇති ආශාව නිසා රන් මිණි ගෙඩි සෙලවෙතැයි බියෙන් නො සෙල්වී පිළිබිඹු (ප්රතිරූප) ආකාරයෙන් නොයෙක් අශ්ව සේනාවෝ ඒ ස්ථානයෙහි හිටිවන ම සිටියහ.
නිති නිරිඳුගෙ රැකවලෙහි නියුත්තෝ
රුති ලෙස රුපුනොද බිඳ ජය ගත්තෝ
පැතිරෙන වෙණ නද බැඳුණු සිතැත්තෝ
අති නවි ගිලිහෙන බව නොම දත්තෝ
නිතර රජුගේ රැකවරණයෙහි යෙදුණා වු කැමති පරිද්දෙන් එඩිය බිඳ දමා ජය ගත්තා වු (භටයෝ) පැතිරී යන වීණා නාදයෙහි බැඳුණු සිත් ඇත්තාහු සිය අතින් ආයුධ වැටෙන බව නො දත්හ.
මන්මත් කරවන දන මුළු දෙරණා
රසවත් වන වෙණ නද නඳ කරණා
සවණොත් සඳ පුරඟන ලොබ දියුණා
නොදනිති දරුවන් ඇකයෙන් වැටුණා
සියලු පොළෝ තලයෙහි ජනයාගේ සිත් මත් කරවන්නා වු සතුටට කරුණු වු රසයෙන් යුතු වන්නා වු වීණා නාදය කනෙහි වැටුණු කල්හි ආශාව වැඩි වී පුර ස්ත්‍රීහු (තම) දරුවන් ඇකයෙන් වැටුණු බව නො දත්හ.