ජයසිරි සඳ වලඳිනා
ලෙස සිරුර නඳනා
සුපිරිසිදු කර සුවඳ දියනා
ඒ දවසෙහි බෝසතාණන් ද දිනු නමැති සිරිකත වැළඳගනු පිණිස, සුවඳ මුසු ජලයෙන් ස්නානය කොට ශරීරය සිත්ගන්නා ලෙස (නඳනා) මැනවින් පවිත්ර කර ගෙන,
රස මසවුළෙන් යුත්
වළඳා බොජුන් රසවත්
ඇඳ සුදු සිනිදු වත්
සඳන් කොකුමෙන් සරා උර බිත්
රස මුසු අවුළුපත් සහිත ආහාර අනුභව කොට, සුදු සිනිඳු ඇඳුම් ඇඳ පපු පෙදෙසෙහි (උරඛිත) සඳූන් කොකුම් ගෑමෙන් සරසා ගෙන.
මිණි කොඬොල සවනත
අගු මිණි වළලු යුවළ'ත
එකාවැල උරඛිත
සරා පැහැසර සලඹ සරණත
දෙකන් මැණික් තෝඩු වලින් ද, දෙඅත් (අත් කඳෙහි ලන) අගුවළලුවලින් හා (මැණික් කටුවේ ලන) මිණි වළලුවලින් ද, පපු පෙදෙස තනි මුතු ඇට පටින් (එකා වැල) ද, දෙපා දීප්තිමත් පා සලඹින් ද සරසා ගෙන....
ඉස පිණි දිය නොමඳ
සුවඳ මල් දම් මනනඳ
විසිතුරු කර පැලද
බහා ඇකයෙහි උතුරු සළු සොඳ
සුවඳ පිණිදිය බෙහෙවින් ඉසගෙන මනහර වු, සුවඳ මල්දම් අලංකාර ලෙස පැළඳගෙන, සිත්කළු උතුරු සළුව ඇකයෙහි දමා ගෙන......
මෙසේ සැරසී ගෙන
වීණාව ගෙන්වා ගෙන
සමඟ අතවැසි දන
නික්ම බාසුරු සිහ රජකු මෙන
මේ ආකාරයෙන් සැරසී වීණාව ගෙන්වා ගෙන අතවැසි ජනයා ද කැටිව, තෙදින් බබළන සිංහ රාජයකු මෙන් පිටත් ව..
ජය වෙයි අද මොහුට
සිතවමිනි දුටු දනහට
කර මුව පියුම් තුට
පිවිස රජ වුන් සබා මඬුවට
අද මේ ගුත්තිල ඇඳුරුතුමාට ජය අත් වේ යැයි දුටු දුටු ජනයාට සිතෙන්නට සලස්වමින් නෙළුම් මලක් බඳු මුහුණෙන් සතුටු ගතිය පෙන්නමින් රජතුමා උන් ඒ සභා මණ්ඩපයට ඇතුළු වී...
රන් ගිරි කුළු බෙයද
දෙපස දිලි හැලි මෙන් සොඳ
සිට දෙපසෙහි බොළඳ
ලඳුන් දුන් සෙමෙර නල විඳ විඳ
රත්තරන් කන්දක ශිඛරය දෙපැත්තේ බෑවුමෙහි (බෙයද) බබළන (දිය) ඇලි මෙන් සියුමැලි කාන්තාවන් විසින් දෙපැත්තෙහි සිට ගෙන සලන සෙමෙර පවන් විඳිමින්
රජ සෙන් කොඳ රැසා
නඳ සඳ කැලුම් විලසා
කර මඳ මඳ හසා
අමා රස බස් පවස පවසා
රජුගේ සෙනඟ නමැති කොඳමල් සමූහය, පුබුදුවන (නද) සඳ රැස් වැනි මඳ මඳ සිනා පහළ කරමින්, අමෘතය බඳු රසවත් වදන් පවසමින්...
සරණ සල සලඹා
රුවින් දන මන පොළඹා
සිටින නරවර'ඹා
රුසිරි රිසි ලෙස නරඹ නරඹා
පාදයන්හි සැලෙන සලඹෙහි හඬින් ජනයාගේ සිත් පොලඹවමින් සිටින්නා වු රජ බිසොවුන්ගේ රූපශ්රි}ය සිත් වු පරිදි බලමින්...
අඹා - (අම්බා) අඹුවන්
බැදි තම නම නිසා
කවියර කියන වෙසෙසා
කිවි බස් අස අසා
ගැඹුරු පද'රුත් විමස විමසා
තමන්ගේ නම ඇසුරු කොට, කවීන් විසින් විශේෂයෙන් බඳිනා ලඳුව ගයනු ලබන කවීන්ගේ කියමන් අසමින් (එහි) පදයන්ගේ ගැඹුරු අර්ථ විමසමින්