ගුත්තිල කාව්‍ය 24
 


 

විරිදු නිරිඳු සෙන් අඳවා පියලී
පුරුදු ඔවුන් සිරි ගැනුමෙන නියැලී
මුහුදු වසන් මිහි රකිනා නොමැලී
නිරිඳු මඟුල් මඬලග ගෙන උදුලී

සතුරු රජුන්ගේ සේනාවන්ට වැරහැලි අන්දවා ඔවුනට පුරුදු (ඔවුන් විසින් සෙවුනා ලද) ඉසුරු (සිරි) පැහැර ගැනීමෙහි නිතර යෙදුණු, මුහුදෙන් අවසන් වන පොළොව මැලි නොව රකින්නා වු රජ, බබළන මඟුල් කඩුව ගෙන


පිරී රුසිරෙන් බබළන සක්‌ සුරඟන
සල නුවණින් මිස වෙනසක්‌ නොමවන
නව යොවුනින් දන මන සක්‌ පිනවන
පිරිවරමින් දස දහසක්‌ වරඟන


රූප ශෝභාවෙන් පිරී බබළන, සැලෙන ඇසින් (ඇසිපිය හෙලීමෙන්) විනා අන් කරුණකින් ශක්‍රයාගේ දෙවඟනන්ට කිසි ම වෙනසක්‌ නැති, වන යෞවනයෙන් ජනයාගේ (මනසක්‌) නෙත් සිත් පිනවන, උතුම් කාන්තාවන් දහදාහක්‌ පිරිවර කොට ගෙන-


දියත සතන් මන බැඳි වැදි සහසේ
කියත නොයෙක්‌ විරුදාවලි සතොසේ
දිගත බිහිරි කර යුග සිඳු ගොස සේ
කරත පසහතුරු ගොස සිට දෙපසේ


ලෝක වාසි සත්වයන්ගේ සිත් බැන්දා වු දහස්‌ ගණන් වන්දිභට්‌ටයන් නොයෙක්‌ විරුදු මාලා සතුටින් කියත් දී කල්පාන්තයෙහි මුහුදේ ඝෝෂාව මෙන් දිශාන්තයන් (දිශා කෙළවර තෙක්‌) බිහිරි කරමින් දෙපැත්තෙහි සිට ගෙන පඤ්චාංගික තුර්ය ඝෝෂය පවත්වන කල්හි.


එක්‌ ව සිනිඳු වල් විදුනා සුළඟින්
නික්‌ම දිවෙන ඉඳුවර දම් සරඟින්
සක්‌ව දිළෙන අබරණ රැස්‌ කිරණින්
නික්‌ම ඒ රජ රජ මැතිසෙන් සමඟින්


වල්විදුනාවන්හි (සිනිදු) මොළොක්‌ පවන් හා එකතු ව, නිල් මහනෙල් මාලාවන්හි වර්ණ සහිත ව බැහැර දුවන්නා වු සුළි වැටී බබළන ආභරණ සමූහයේ රශ්මියෙන් යුතු ව ඒ රජ රජයේ ඇමතිවරුන් හා සේනාව සමඟ පිටත් ව.


වෙසෙසින් දැන පරසිදු සිව් වේදේ
සැබවින් බොරු නොකරන කී කී දේ
බමුණන් පවසන ජය තුති නාදේ
අසමින් නරනිඳු සඳ සිතු පෑදේ


චතුර්වේදය විශේෂයෙන් දැනීමෙන් ප්‍රසිද්ධ වු, කියු කියු දැය ඒකාන්තයෙන් බොරු නොකර බමුණන් විසින් පවසනු ලබන ජය ස්‌තුති නාදය නරේන්දෝත්තම තෙමේ සිත පහදා ගෙන අසමින්-


දිලිහෙන නුබ ඉඳු සැවු සිය විලසින්
විහිදෙන මිණි අබරණ රැස්‌ පහසින්
පුබුදින මුව තඹරැති පුර විලසින්
විසුරන අසෙනිය මල් දැක සතොසින්


අහසෙහි බබළන සිය ගණන් දේදුනු පරිද්දෙන් පැතිර යන මැණික්‌ ආභරණවල රැස්‌ වැදීමෙන් පිබිදෙන්නා වු මුහුණු නමැති පියුම් ඇති (ඒ) අන්තප්පුර බිසෝවරුන් විසින් විසුරුවනු ලබන ලදපස්‌මල් හෝ උපහාර (අර්චනිය) පුෂ්පයන් දැක සතුටින් යුතු ව.


කලා සපිරි මුව සඳ හස කැල්මෙන්
දුලා දිමුතු මුතුහර ගඟුලැල් මෙන්
බලා සිටින ලිය තම වෙත ඇල්මෙන්
බලා පුළුල් දිගු නුවනග බැල්මෙන්


කලාවන්ගෙන් පිරුණු සඳ වැනි මුහුණුවල සිනා නමැති කාන්තියෙන් දිලිසෙන ගඟුල් ඇලි සෙයින් බබළන දීප්තිමත් මුතුමාල ඇත, දිග පළල් ඇස්‌ අගින් හෙලන බැල්මෙන් තමා කෙරෙහි ඇල්මෙන් යුතු ව බලමින් සිටින කාන්තාවන් (දෙස) බලා.


සුර සෙන් ගෙන සැදි සුදම් සබාවට
සතොසින් පැමිණෙන සුරිඳු සුබාවට
අවසන් නොව දිලි රුවන් පබාවට
රජසෙන් සහ රජ පිවිසි සබාවට


සරසන ලද සුධර්මා නමැති දිව්‍ය සභාවට දෙව් සෙනඟ පිරිවරා ගෙන සන්තෝෂයෙන් පැමිණෙන සක්‌ දෙව් රජුගේ විලාසයෙන්, (අවට) හාත්පස අවසන් වීමක්‌ නැති ව බබළන රත්න කාන්තියෙන් යුතු (වාද) සභා මණ්‌ඩපයට රජතෙමේ රාජ සේනාව සමඟ ඇතුල් විය.


සරා ලකළ කිරුළග මිණි රැස්‌ වැද
සරා උදය දිවයුරු බිඹු සිරි ලද
පුරා උදුල සේසත් සිහසුන් මැද
අරා පවර නරනිදු වැඩ උන් සඳ


විවිධ වර්ණයෙන් විසිතුරු වු චූඩාමාණික්‍යයෙහි රශ්මිය වැදීමෙන් සරත් කාලයේ පායන සූර්ය බිම්බයේ සුන්දරත්වය ලැබුවා වු, පුරා දිලෙන සේසත් ඇති සිංහාසනය මැද උතුම් රජතුමා අසුන් අරා වැඩ හුන් කල්හි.


පලන් අබරණ දෝ
වතුරින් සබය කරදෝ
ලොව පරසිඳු සොඳෝ
උන්නු සුවහස්‌ ගණන් නිරිඳෝ


ලෝකයෙහි මැනවින් ප්‍රසිද්ධ වු ලක්‌ෂ ගණන් රජවරු පැලැදි ආභරණයන්හි කාන්තිය (දෝ) නමැති ජලයෙන් සභාව (දෝ කර) දෝ (@ජ්‍යාති) කාන්තිය.

(c) Shilpa Sayura Foundation 2006-2017