ගුත්තිල කාව්‍ය 19
 


 

කර ඔහුට නින්දා
සෙබෙහි සත සිත අන්දා
කියත නර නින්දා
ඒ තෙම පැවසී බස්‌ මෙ බන්දා

සභාවේ සිටියවුන්ගේ සිත් ගන්නා ලෙස මෙසේ ඔහුට නින්දා කොට රජතුමා මෙසේ කියද්දී ඒ (මූසිල) තෙමේ මෙබදු වදන් පැවසීය.


මැදහත් නිරිඳු තුම
වන බව අප නොසම සම
තෙපලනු කිම වෙනම
සිල්ප දුටු විට දැනෙයි ඔබටම


මධ්‍යස්‌ථ රජතුමනි, අප දෙදෙනා සම නොසම වන බව තනිකර වචනවලින් ම (පමණක්‌) කියන්නේ ඇයි? (දෙදෙනාගේ) ශිල්ප දුටු විට, ඔබට වැටහෙනු ඇත.


නිරිදු සඳ එ බසට
බෝසත්හු මුව තඹරට
සිය නෙත් බිගු විහිට
එ සඳ පැවසී තෙපුල් මෙලෙසට


එකල්හි රජතුමා ඒ කතාව අසා බෝසතාණන්ගේ මුහුණ නමැති නෙළුම් මලට තමාගේ ඇස්‌ නමැති මීමැස්‌සන් විහිදුවා, මේ අයුරු වදන් කී ය.
විහිට - (විහිදුවා) විසිර- විහිර- පූර්ව ක්‍රියා රූප යි.
උදාහරණ - මතුර මතුට, තඹුර තඹුට, අතුර අතුව


නො බා අපවාදය
කෙරෙමි යි කියයි වාදය
සොදේ තොප පෑදය
ඉගැන්නූ විලස වෙණ වාදය


අපකීර්තියට නොබිය ව තරඟයට වාදනය කරමි'යි කියයි. (මොහුට) ඔබ පැහැදි වීණා වාදනය ඉගැන්වූ හැටි හොද නේ ද?


සොදේ - (සොඳ +ය)
හොද නොවේ යන විරුද්ධාර්ථ යි.
කාව්‍ය ව්‍යවහාරයේ දී මෙය 'කාකු' නමි.
පැදය (පැහැදි) පහද - පැහැදීමේ ධාතුව පූර්ව ක්‍රියා ය.


ගුරු වූයෙන් තමා
දැනෙයි මොහු සිප් තරමා
එ බැවින් නො ව පමා
කියව පුළුවන් ද වෙණ වැයුමා


ඔබ ගුරුවරයා වු හෙයින් මොහුගේ සිල්ප දැනීමේ තරම (ඔබට) වැටහෙයි. එහෙයින් (තරඟ) වීණා වාදනය පුළුවන් දැයි අප්‍රමාද ව කියන්න.


එ බසට නො පැකිලී
සිතිවිලි දමෙහි පැකිලී
තෙපලින් මනකලී
එ සඳ බෝසත් මෙසේ තෙපලී


එකල්හි සිතිවිලි ධාරාවෙහි බැදුණු බෝසත්තුමා සිත් ගන්නා වචනයෙන් පැකිලීමක්‌ නැති ව රජුගේ බසට මෙසේ (පිළිතුරු) පැවසී ය.


ගින්නෙන් නැගුණු දුම්
දවත හොත් වැද මහදුම්
එම ගිනි කඳ එදුම්
කිමැයි නො දවා ද කර විහිදුම්


ගින්නෙන් නැගුනා වු දුම් (ධූමය) වැදී මහ ගස්‌ (මහදුම්) දවන්නේ නම්, එම (දුමට මුල් වු) ගිනිකඳ ඒ දුම් පලවා හැර කුමක්‌ නිසා (එම ගස්‌) නො දවයි ද ?
මහදුම් - (මහදඨැම) මහගස්‌
දුම් - (ධූම) දුම්


වැඳ මගෙ සරණ තල
වෙණ සිප් උගත් අඳ බල
මොහුට පුළුවන් කල
මෙ මට බැරි කිම පුරුදු හැම කල


මගේ පාදතල නැමඳ වීනා ශිල්පය ඉගෙන ගත් අන්ධ බාල මොහුට පුළුවන් නම්, හැමදා (වීණා වාදනය කොට) පුරුදු මේ මට නොහැකි මන්ද ?
අඳබල - නැණහීන, මෝඩ
නුවණ ද ඇසකි, මූසිලයාට නුවණ නමැති ඇස්‌ නැති හෙයින් හේ අඳ ය. බාලයා නම් මෝඩයා ය.


අතවැසි ව ද නොදැමි
මොහු හා වාද නොකරමි
එතකුදු වුවත් හිමි
සිල්ප සත් වෙනි දවස දක්‌වමි


සිසුවකු විත් නොහින්මුණු මොහු සමඟ තරඟ කිරීම (මට) නො ගැළපේ. එසේ වුව ද, රජතුමනි වීණා ශිල්ප සත් වන දවසෙහි දක්‌වන්නෙමි.


නිරිඳු පද නිය රැස්‌
පිරිසිදු දියෙන් සිහිලස්‌
කර මුදුණත බිසෙස්‌
එතෙර බෝසත් තමා ගෙට ගොස්‌


එකල්හි (එතෙර) බෝසතාණෝ රජුගේ පාදයේ නියෙන් නිකුත් රශ්මි නමැති පවිත්‍ර සිහිල් ජලයෙන් හිසෙහි අභිෂේක කොට තමාගේ ගෙට ගොසින්-
පද නියරැස්‌ පිරිසිදු දියෙන් - පයේ නිපොතු වල සුදු පැහැය ජලය ලෙස සැලකෙන රූපකයකි.


බිසෙස්‌ - අභිෂේක - රජකු ඔටුණු පැළඳවීමේ දී මංගල ජලය හිසට වත් කිරීම අභිෂේකය යි.

(c) Shilpa Sayura Foundation 2006-2017