කිසි කාරියක නුදුරා
ගියෙය නො ව බැහැරා
කිවුය දැන් දැන් එති'යි ඉඳුරා
මිත්‍රය, ඒ ආචාර්යවරයා කිසියම් කටයුත්තක් සඳහා ළඟට ගියේ ය. ඒ බැහැරකට නොවේ. ස්‌ථීර ව ම දැන් දැන් එනු ඇතැයි කීහ.
කියත උන් මෙ තෙපල
ආයෙය ඇදුරු ගුත්තිල
වැඳ ඔහු පද කමල
තමා ආ තතු කී ය මූසිල
ඔවුන් (අන්ධ මවීපිය දෙදෙන) මේ වදන් කියන කල්හි ගුත්තිල ආචාර්යවරයා පැමිණියේ ය.මූසිල තෙමේ ඔහුගේ පා පියුම් නැමද තමා ආ කරුණු කීයේ ය.
බලමින් ලකුණු ගත
දුදන ගුණ දැන ඔහු සිත
නො වසව් තෙපි ම වෙත
ශිල්ප නොදෙමැ'යි කීවෙන් මහසත
ඔහබෝසතුන් (ඔහුගේ) සිරුරෙහි ලකුණු බලා ඔහුගේ සිතෙහි (පවත්නා) දුර්ජන ගුණයන් දැනගෙන තෝ මා ළඟ නො වසව, ශිල්ප නො දෙමි යි කී හෙයින්,
අඳ මව් පියන් හට
නිතර අත් පා මෙහෙ කොට
උන්ගෙන් බෝසතුට
කියැවි වෙණ සිප් ඉගැන්වීමට
අන්ධ වු මව්පිය දෙදෙනාට නිතර අත් පා මෙහෙවර කොට (තම හට) වීණා ශිල්පය උගන්වන ලෙස ඔවුන් ලවා බෝසතාණන්ට කියැවී ය.
මෙලෙසින් නොයෙක් වර
දෙමව්පිය කී මෙහෙවර
නො කළ හොත් අනදර
වෙති යි ඔහුගේ නුගුණ නො සමර
(මව්පිය දෙදෙනා විසින්) මේ ආකාරයෙන් බොහෝ වාරයක් කියන ලද වැඩය නොකර හැරියොත් (ඔවුනට) අනාදරයක් (නොසැලකිල්ලක්) වෙතැයි (සිතා) ඒ මූසිලයාගේ දුර්ගුණ (නරක ගති) අමතක කොට
හිමි තැන නැණ නැවින්
සෑදි ගී තරග බෙහෙවින්
වෙණ සිප් මහණවින්
කෙළේ ඔහු පරතෙරට මැනවින්
(ගුත්තිල පඬි) හිමි තමාගේ නුවණ නමැති නැවෙන් බොහෝ ගීත නමැති තරංග (රැළ) යෙන් යුත් වීණා ශිල්ප නමැති මහමුහුදින් ඔහු (මූසිලයා) ඉතා හොදින් ඒ තෙර කළේය.
මහණවින් - (මහ+අණව) මහා - අර්ණව - මහාසාගරය
වීණා සිප් සකස
නොහැර ම ඇදුරු උවදෙස
ඉගෙන ගෙන සිතු ලෙස
සිතී මූසිල ගඳඹ මේ ලෙස
ගුරුවරයාගේ උපදේශය අත් නොහැර ම, වීණා ශිල්පය මනා සේ සිත් වු පරිදි ඉගෙන මූසිල ගාන්ධර්වයා මේ අයුරින් සිතී ය.
මුළු දඹදිව් තලට
මේ නුවර උතුමැ මෙකලට
සේවය කළ රජුට
ගුරු ද පත් විය මහලු වයසට
මෙකල්හි මේ නගරය මුළු දඹදිව තලයට උතුම් ය. රජු හට සේවය කළ ඇදුරුතුමා ද මහලු වයසට පත්විය.
එයින් මේ බරණැස
නිරිඳුගෙ රැගෙන අදහස
ගුත්තිල ඇදුරු ලෙස
දවස් අරිමැ'යි සිතා සිතු ලෙස
එහෙයින් මේ බරණැස් නුවර රජතුමාගේ කැමැත්ත ලබා ගෙන ගුත්තිල ඇදුරුතුමා මෙන් සිත් සේ කල් ගෙවමි යි සිතා
දුන හොත් රජුට මෙනුවර
සේවය කර නිතොර
මෙහි ම ඉඳිමැයි කීය දවසැර
'හිමියනි, මෙ ඔබතුමා අවසර දුන්නොත් මේ නගරයේ රජු හට නිතර සේවය කරමින් මෙහි ම දවස් ගෙවමින් වෙසෙමි'යි කී ය.
