ගුත්තිල කාව්‍ය 16
 

දුමන මුල් ඉදුරු
ලවන ලොබලිය පදුරු
එවෙණ නද මියුරු
සවන නොකරන කෙනෙක්‌ කවුරු


දොම්නස මුලින් ම උදුරා දැමු ලෝභය නමැති වැල පදුරු දැමීමට සලස්‌වන, මිහිරි වූ ඒ වීණා නාදය නො අසන කෙනෙක්‌ කවුරු ද ?


ගොදුරු ලොබ දුරු කර
ඔහු නිවෙස වට තුරු සිර
නො පැහැර පිය පතර
සියොත්හු ද හිඳ අසති වෙණ සර


පක්‌ෂීහු ද ගොදුරු කෙරෙහි ආශාව හැර දමා ඔහුගේ ගෙය වටේ ගස්‌ මුදුන්හි, පියාපත් නො ගසා හිඳිමින් වීණා නාදය අසති.


ගිජිදුන් තිමද ගළ
වෙණ නද අසා ඔහු කළ
නොසොල්වත කන් තල
තමන් මන දොළ පුරති බිගු රළ


තුන් මදය වැගිරෙන ඇත් රජුන් ඔහු (ඒ ගුත්තිල ඇදුරු) කළ වීණා නාදය අසා කන් පෙති නො සොල්වන කල්හි මීමැසි සමූහයා තමන්ගේ සිතෙහි ආශාව පුරවා ගනිති. (සිත් සේ මද ජලය බොති)


බෝසතු ගුණ නිසා
අන් ඇදුරන්ට වෙහෙසා
වෙළදුන් කී බසා
අසා මූසිල ගඳඹ පවසා


බෝසතුන්ගේ ගුණය මුල් කොට අන්‍ය ආචාර්යවරයන්ටත් වඩා උසස්‌ කොට වෙළෙන්දන් කී වදන් අසා මූසිල ගාන්ධර්වයා (මෙසේ) පවසති.


එසේ වුවහොත් හිමි
ඔහුට මම අතවැසි වෙමි
මෙ මිල ආපසු දෙමි
මමත් ඔබ යන කල සමඟ යෙමි


ස්‌වාමිනි, එසේ වී නම් මම ඔහුට අතවැසි වෙමි. මේ මුදල් ආපසු දෙමි. ඔබ යන විට මමත් ඔබ කැටුව යන්නෙමි.


කියමින් මේ ලෙසට
වෙළදුන් සමඟ සහතුට
ගොස්‌ බරණැස්‌ පුරට
පිවිස මහබෝසතුන්ගේ ගෙට


මේ අයුරින් කියා වෙළදුන් සමඟ සතුටු සිතින් බරණැස්‌ නුවරට ගොස්‌ මහා බෝධිසත්වයන්ගේ ගෙදරට පිවිස.


මඳක්‌ සැතපී ඉඳ
මහ බෝසතුන්ගේ සොඳ
රැගෙන වෙණ මහ නඳ
වැයීමට ඔහු පටන් ගත් සඳ


ටික වේලාවක්‌ සැකසී හිඳ (විඩා හැර) මහ බෝසතාණන්ගේ සිත් ගන්නා වු සොදුරු වීනාව හැර ගෙන ඔහු වයන්නට පටන් ගත් කල්හි-


අඳ මව් පිය දෙදෙන
ඔහු වයන බව නොම දැන
කතී වෙණ මීයන
සූ සූ යැයි අත ගැසූ සැකයෙන


අන්ධ වු මවු පිය දෙදෙනා ඔහු වාදනය කරන බව නොදැන ම 'වීණාව මීයන් කති' යන සැකයෙන් සූ සූ යයි කියමින් අතින් (යම් දෙයකට) ගැසූහ.


ඒ අසා වෙණ තබා
සිතෙහි ගරු මන් නොතබා
උන් පද හිස තබා
නැමඳ මෙලෙසින් කියයි ගඳඹා


(මූසිල) ගාන්ධර්වාචාර්යවරයා ඒ හඬ අසා වීණාව තබා සිත්හි ආඩම්බරය හා මානය හැර දමා ඔවුන්ගේ දෙපා මත හිස තබා වැඳ මේ අයුරින් කියයි.


උදේනි පුර සිට
වීනා සිප් ඉගැන්මට
ගුත්තිල පඬි වෙතට
ආමි කො ද දැන් එහිමි කිය මට


වීණා ශිල්පය ඉගෙනීම පිණිස ගුත්තිල පඬිවරයා ළගට උදේනි නගරයෙහි සිට ආයෙමි. එතුමා දැන් කොහි දැයි මට කියන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017