යුදෙහි ඔහු කඟ ලිය
සමඟ රුපුන'ද වෙව් ලිය
උන'මු සිතුවිලි ලිය
සමඟ ඔහු යස ලිය ද ලිය ලිය
යුද්ධයේ දී ඒ රජුගේ කඩු තලය හා සමඟ සතුරන්ගේ හෘදය ද (හිත) වෙවුලා ගියේ ය. ඔවුන්ගේ අඹුවන්ගේ සිත් තුළ ලජ්ජාව නමැති වැල සමඟ ඒ රජුගේ කීර්තිය නමැති වැල ද ලියලා ගියේ ය.
ළෙල දෙන නන'වි සිළු
රද දුම් කඳින් පිහිකුළු
ඔහු සෙන් ළව'ග රළු
කෙළේ මොළ රිපු ඉළු හළු
ලෙළ දෙන්නා වු නොයෙක් ආයුධ නමැති (ගිනි) දැල් ඇති දූවිලි නමැති දුම් කදින් වැසුණා වු ඒ රජුගේ සේනාව නමැති මහ ළැව් ගින්න සැඩ වු සතුරු රජවරුන් නමැති කැලය (දවා) අළු කළේ ය.
දිමුතු කිතු මුතු හර
කරැ දිගු පියන් පියොවුරු
දස රජ දම් නොහැර
ඒ රජ රජ කරන සඳ එ නුවර
බබළන්නා වු කීර්තිය නමැති මුතුවැළ දිසාවන් නමැති කාන්තාවන්ගේ පියවුරු මත රඳවා දසරාජ ධර්මය නොකඩ කොට ඒ රජු ඒ නගරයෙහි රජ කරන කල්හි.
රජ කුල අදර ලත්
විදුමිණි රුවන කර යුත්
පසිඳු මහ දනවත්
ගදෙව් කුලයක ඉපිද බොසත්
රජ පවුලෙන් සැලකිලි ලැබූ විද්‍යා නමැති රත්නයන් උපදවන ආකාරයක් බඳු ප්‍රසිද්ධ වූ මහත් ධනය ඇති ගන්ධර්ව පවුලක බෝසත් තුමා ඉපදී.
කුමර කෙළි පුරුදුව
ගුරුන් පෙම් කොඳ තරිදුව
දිසි පින් පිඬු බඳුව
සොදුරු ගුත්තිල නමින් පසිදුව
කුඩා කල කරන ක්‍රීඩා පුරුදු වී දෙමාපියන්ගේ ආදරය නමැති කොඳ මල්වලට චන්ද්‍රයා වී ඇසට පෙනෙන පින් කැටියක් වී යහපත් වු ගුත්තිල නමින් ප්‍රසිද්ධියට පැමිණ.
සුරඟන වුව වෙතට
අදනා සොදුරු රුසිරට
නරග රඟ පසු කොට
පැමිණ සපිරුණු සොළොස් වයසට
දෙව් ලියන් වුව ද තමා වෙතට ඇද ගන්නා මනා වු රූ සැපතින් අනංගයාගේ ආකාරය පසු බස්වා සම්පූර්ණ වු දහසය අවුරුදු වයසට පැමිණ.
කළ පන්සිළු නො නිසි
වඩවන සුරඟනන් රිසි
කරන දන මන් විසි
ඉගෙන වීණා ගායනා නිසි
දිව්‍ය ස්ත්රීන්ගේ රුචිය වඩවන්නා වු පංචශිඛයා (තමා හා) අසමාන බවට පත් කොට (පරදවා) දනන්ගේ සිත් වසග කරන්නා වු සුදුසු වු වීණා වාදනය ඉගෙන ගෙන,
බඹදත් නිරිදු මැද
දක්වා ශිල්ප මහ නද
ලැබ යසසිරි මොනඳ
පැමිණ රජසේවයට හැමසඳ
බඹදත් රජු ඉදිරියේ (රාජ සභාවේ) සිත් සතුටු කර වන වීණා ශිල්ප දක්වා බොහෝ කීර්තිය හා සම්පත් ලබාගෙන සියලු විට රාජ සේවයට පැමිණ.
දඹදිව තල නොයෙක
දුරුකර පිළිඇදුරු සැක
සිප් සයුර තෙර දැක
වසන සඳ අඳ දෙමව්පිය රැක
දඹදිවෙහි බොහෝ ප්රතිපක්ෂ වීනා වාදකයන්ගේ (ඇති) සැකය දුරු කොට ශිල්ප සාගරයේ එතෙර දැක අන්ධ වු දෙමාපියන් රකිමින් වාසය කරන කල්හි.
බරණැස නුවර සිට
උදේනි නම් නුවරට
පුරා බඩු ගැල් පිට
රැගෙන ගිය වෙළදු වෙළඳාමට
බරණැස් නගරයෙහි සිට උදේනි නමැති නගරයට කරත්තවල බඩු පුරවා ගෙන, වෙළඳාම පිණිස ගිය වෙළෙන්දෝ-