ගුත්තිල කාව්‍ය 10
 

මිණි බිම දිසි දිමුත්
පහග ලෙළ දෙන දද යුත්
වැද සිදු සපුන් ගත්
ගුරුළු දහසෙව් දන නුවන් ගත්


දිලිසෙන මැණික්‌ බිමෙහි (පිළිබිඹුව) පෙනෙන මුදුනේ ලෙළ දෙන කොටි ඇති ප්‍රාසාද, මුහුදට වැදී නයින් ඩැහැගත් දහස්‌ ගණන් ගුරුළන් මෙන් දනන්ගේ ඇස්‌ ඇද ගත්තේ ය.


දුල සිසි කිරණ පට
මිණිකොත් ඇණින් අසුකොට
තැබුයෙව් පුර ලු කොට
රිදී පළ එහි දිලෙයි හැමවිට


දීප්තිමත් වු සඳ රැස්‌ නමැති වස්‌ත්‍රය මැණික්‌ කොත් නමැති ඇණවලින් අවුණා නගරය ආලෝකවත් වන සේ තැබුවාක්‌ මෙන් ඒ නගරයේ රිදී වහළ දිලිසෙයි.


නිල් මිණි රැස්‌ පැතිර
නිල් වත සිතබපුර වර
ගජ මද හෙත විසිර
එපුර වහරෙව් දිසී හැම වර


ඒ පුරයේ නිල් මැණික්‌ කැලුම් පැතිරී සුදුවලාකුළු නිල් පැහැය ගන්නා විට, ඇතුන්ගේ මද පොද පැතිරී වැටෙත් ම ඒ පුරයට සියලු කල්හි වැසී ඇති සේ පෙනිණ.


හය කුර රොන් ගසින්
ගිජිදු ගිජිදුන් වෙසෙසින්
හළ පොකුරඹ රසින්
තුරඟ සැනසෙති එපුර වෙසෙසින්


ඒ පුරයේ අසුන්ගේ කුර ගැටීමෙන් (නැගුණු) දූලිවලින් ඇත්තු ද, ඇතුන් (සොඬින්) විහිදුවා හරින ලද මද දියෙන් අස්‌සු ද සතුටින් සැනසෙති.


උරයෙන් උර පැහැර
ගැවසී සිටින නිරතුර
දන රැස්‌ පිරී පවර
කුවෙර නුවරෙව් සැදිණ එ නුවර


උරෙන් උර ගැටෙමින් සිටින ජන සමූහයෙන් පිරුණු උතුම් වු ඒ නුවර (වෙසවුණු රජුගේ) කුවේර පුරය මෙන් සැරසී තිබිණි.


මෙ ම යැයි රජෙක්‌ නම්
කියවු ලොව තමන් නම්
රජෙක්‌ බඹදත් නම්
වීට නො තැබූ රුපු රජෙක්‌ නම්


රජෙක්‌ නම් මේ (තැනැත්තේ) ම යැයි ලොවෙහි තමන්ගේ නම කිය වු සතුරු වු එක්‌ රජකුගේ ද නම පමණකුදු ඉතුරු නොකළ බ්‍රහ්මදත්ත නම් රජෙක්‌ විය.


මෙන් රිවි සඳ කිරණ
දිව රෑ දිලෙන මෙ දෙරණ
ඔහු තෙදණ සොමි ගුණ
කළේ මුළු ලොවට වැඩ අපමණ


මේ පොළෝ තලයෙහි දවාලෙත් රැයේත් දිලිසෙන්නා වු සූර්ය රශ්මියෙන් චන්ද්‍ර රශ්මියත් මෙන් ඒ රජුගේ තේජසින් යුක්‌ත වු අණත්, සිසිල් ගුණයත් මුළු ලෝකයට අපමණ වැඩ සැලසුවේ ය.


සව් සත කුලුණැසින්
සව් සත තියුණු නැණැසින්
නිති දක්‌නා විසින්
එ රජ මය යුතු වූයෙ යුගැසින්


සියල් සතුන් කරුණා සහගත ඇසින් ද සියලු ශාස්‌ත්‍රය තියුණු වු නුවණ ඇසින් ද නිබඳ ව දක්‌නා නිසා දෑස සහිත වූයේ ඒ රජතුමා මැයි.


ඔහු තෙද දිවසකර
දිලිහෙත විකුම් සිරි සිර
පෙර සිටි රහ නො හැර
සිටි ද පර රද යස තුසරකර


ඒ රජුගේ තේජස නම් වූ සූර්යයා වික්‍රමය නම් වු උදය පර්වත මුදුනේ බබළන කල්හි වෙනත් රජුන්ගේ කීර්තිය නම් වූ හඳ පෙර සිටි ආකාරය අත් නොහැර සිටී ද ?


සුරත ඔහු යුදයට
සුරත ලෙළ දෙන කඟපට
සුරත මිස යුග දිට
සුරත නම් කොද රුපඹුවන් හට


යුද්ධයට ඇලුණා වූ ඒ රජුගේ දකුණු අතේ කඩුපත ලෙළ දෙන කල්හි සතුරන්ගේ අඹුවන් හට දෑසේ තද රතු පාට විනා අනුරාගි සිතුම් කොහි වේ ද ?

(c) Shilpa Sayura Foundation 2006-2017