ගුත්තිල කාව්‍ය 9
 


 

දෙසුම් රිවි උදයට
මෙ තෙපුල් අරුණු රැස්‌ කොට
සුගතිදූ උන් කලට
සෙමෙන් යතිදෙක්‌ සෙබෙක්‌ නැගිසිට

දේශනා (නමැති) හිරු උදාවට මේ වදන් (නමැති) අරුණාලෝකය කොට බුදු රජු වැඩ සිටි කල්හි යතීන්ද්‍රයාණ කෙනෙක්‌ සබයෙන් සෙමෙන් නැගී සිට.


වැඳ මුනිඳු සරණත
මුදුන් මල සුන් මුදුනත
රතතුල් සහස්‌පත
පුදා සිට පැවසීය මෙපවත


බුදු රජුගේ පා වැඳ (තමාගේ) හිස නමැති මල් ආසනය මතුයෙහි රතුපාට අත්ල නමැති නෙළුම් මල තබා පූජාකොට මේ ප්‍රවෘත්තිය කී ය.


දෙව් දතු පෙර දවස
කළ දෙය හිමි ඔබට මිස
නො දැනේ ය සමතැස
එයින් වදහළ මැනවි තතු ලෙස


ස්‌වාමිනි, දේවදත්ත යටගිය දවසේ කළා වු දෑ, සියල්ල දන්නා ඔබ වහන්සේට හැර (අනකකු හට) නො දැනේ. ඒ නිසා ඒ පුවත වදාළ මැනවි.


මේ ලෙසින් එ යති සඳ
ආරාදනා කළ සඳ
තෙකල් දත් මුනි සඳ
පැවැසි පෙර විසි නැණින් පිරිසිඳ


ජගත් නන්දන ඒ යතීන්ද්‍රයාණන් ආරාධනා කළ කල්හි තුන් කාලය ම දන්නා වු බුදුන් වහන්සේ පෙර විසූ කඳ පිළිවෙළ දන්නා නුවණින් ඒ වු ආකාරය විසදා පැවසී ය.


කුර වී නද විරස
කර වෙණ නදට අපහස
පසිඳු තුන් ලෝ කුස
විහිදුවා දිය නඳන බඹ ගොස


ජගත් නන්දන උතුමා කුරවි කෙවිල්ලන්ගේ නද නීරස කොට වීණා නාදයට අපහාස කොට තුන් ලොව තුළ ප්‍රසිද්ධ වු ඝෝෂාව පතුරවමින්.


හිම පටලෙන් වැසී
නො දිසි සිසී බිඹු සඳිසි
සිටි බවයෙන් වැසී
ඉකුත් වත් මේ ලෙසින් පැවසී


හිම වලා පටලයෙන් වැසී යෑම නිසා නො පෙනෙන චන්ද්‍ර බිම්බය සේ සංසාරයෙන් වැසී සිටියා වු යට ගිය කතා පුවත මේ ලෙසින් පැවසී ය.


ඉසුරෙන් ඉඳුරු පුර
පසු කරන සව් සිරි බර
බරණැස්‌ නම් පවර
පුරෙක්‌ විය දඹදිවෙහි පුවතර


සම්පත් වලින් ශක්‍රයාගේ නුවර පසු බස්‌වන සියලු සැපතින් පිරුණු දඹදිව ප්‍රසිද්ධ වු බරණැස්‌ නම් නගරයක්‌ වී ය.


දුසිරි නවතා දෝ
පිරීතිරෙන ඉසුරට දෝ
ඉඳි කළ මෙන් සො ඳෝ
බැබළි එපුරෙහි පවුර කල දෝ


දුසිරිත් නැවැත්වීමට ද නැතහොත් පිරී ඉතිරී යන සම්පත් රක්‌නා පිණිස ද ඉඳිකළොත් වැනි ඒ පුරේ සුදු පැහැති පවුර බැබළුණේ ය.


පිරී සිලිලෙන් දිලෙන
මහඋර මහත් සැපතින
එපුර ගිලෙතියි දැන
බඹා ලු තර වළල්ලක්‌ මෙන


ජලයෙන් බබළමින් පෙනෙන මහා ප්‍රාකාරය (ප්‍රාකාරයේ පිළිබිඹුව) මහත් වු සම්පත් බරින් මේ පුරය ගිලා බසිතියි සලකා බඹා දැමූ ස්‌ථිර වළල්ලක්‌ මෙනි.


පිපී සියපත් රොනට
පුරෙහි වත්සුණු සුවඳට
හැසිරෙන බමර වට
හෙළු මිණි දැල් වැන්න අරකට


පිපුණු නෙළුම් මල්වල රොන් සඳහා ද පුරෙහි (පුරවාසීන්ගේ මුහුණේ ගෑ) විලවුන් සුවඳට ද නගරයේ හැසිරෙන බමර සමූහයා ආරක්‌ෂාව සඳහා දතුරන ලද මැණික්‌ දැල් බදු ය.

(c) Shilpa Sayura Foundation 2006-2017