ගුත්තිල කාව්‍ය 8
 


 

තරු වැළ සහස්‌නේ
මැද තරිඳු සිරි පුස්‌නේ
එසබ මැද අස්‌නේ
එසඳ වැඩ ඉඳ සැප පහස්‌නේ

නොයෙක්‌ සහශ්‍ර ගණන් තාරකා සමූහය මැද (ඇති) සඳුගේ ආකාරය දරමින් ඒ සබය මැද වු ආසනයෙහි එකල්හි සුව පහසු ලෙස වැඩ හිඳ,


උදය දිසි සබොබා
තඹුරු වන සිරි පසුබා
පවසන බස්‌ තබා
ඒ උන් මහ සහන දෙස නරඹා


උදයේ පෙනුණු අලංකාරවත් වු නෙළුම් වනයක සෝබාව පරදවමින් ඔවුන් කියන කතා නවත්වා උන්නා වු මහා සංඝයා දෙස බලා


යන දසන පබයා
සපුන් සේ හළ පිඹයා
මුව පියුම පොබයා
සුවඳ කර සියලු දම් සබයා


පිඹීමෙන් ඉවත් කරනු ලැබූ මී මැස්‌සන් (සපුන්) සේ දන්ත කාන්තිය පැතිරෙන නෙළුම් මලක්‌ වැනි ශ්‍රී මුඛය විවර කරමින් මුළු මහත් දම් සබාව සුවඳවත් කර,


මෙතැන තෙපි මහණෙනි
අප ඊමට පළමුවෙනි
කුම් නම් පුවතකිනි
යුතු ව උනු දැයි විතාළේ මුනි


මහණෙනි, තෙපි අපගේ පැමිණීමට පෙර කවර නම් පුවතක්‌ ගැන කතාවෙන් යුතු ව මෙතැන්හි උන්නු දැයි සර්වඥයන් වහන්සේ විචාළ සේක.


අමා රස සුදුසු
කුලුණු නුවණින් සුමුසු
දස බල බස ඇසු
ඒ සඟ ගණ මේ ලෙසින් පැවසු


අමෘත රසය හා සමාන වු කරුණාවන්ත ඥාණයෙන් මැනවින් මිශ්‍ර වු බුදුන්ගේ වචන ඇසූ ඒ සංඝ සමූහට මෙසේ කීහ.


තිලෝගුරු හිමි සඳ
අප කළ කතා මෙහි හිඳ
විසය රස පිළිබඳ
නො වේ දෙතිසක්‌ කතා පිළිබඳ


තිලෝගුරු හිමිතුමාණෙනි, මෙතැන හිඳිමින් අප කළ කතා විෂය රසය (ලෞකික රසය) සමඟ බැඳුණු දෙතිසක්‌ කතා පිළිබඳ ව නො වේ.


පෑ මහිම මහි'දිව
හිමි සඳ සස්‌න පැවිදිව
පිළිවෙත්හි නොයෙදිව
වයිර බැඳ ඔබ කෙරේ වැරදිව


හිමියනි, ඔබගේ සසුන්ගත ව පැවිදි වී මහත් සෘද්ධි ඇති කොට ගෙන මහත් උදාර බව දැක්‌වූ ප්‍රතිපත්තිවල නො යෙදී ඔබ වහන්සේ කෙරෙහි වැරදි ලෙස වෛර බැඳගෙන,


මොකැදුරු හිමි නිසා
ලැබ සිවු දනන් සකසා
තෙවළා බණ අසා
මෙ ඔබ තම ගුරු නොවෙයි පවසා


නිවනට ගුරු වු ස්‌වාමීන් ඇසුරු කිරීමෙන් ධ්‍යාන සතර මැනවින් ලබාගෙන තුන් පිටකයේ බණ අසමින් මේ ඔබතුමා තමාගේ ගුරු නොවේ යැයි කියා


දෙව්දත් තෙර නිවට
පැමිණිය මහත් වනසට
තම කී බස්‌ එවිට
මෙසේ පැවසූ සඳෙහි මුනිඳුට


දීන (ගුණ ඇති) දෙව්දත් තෙර මහා විනාසයට පැමිණියේ යැයි තමන් කී වදන් මේ ලෙස බුදුරජාණන් වහන්සේට සැළකර සිටි විට,


දැන් මතු ද මේ නිවට
පළමුත් ගුරු සිටි මට
නිකරුණ වයිරා කොට
පැමිණියේ යැයි මහත් වනසට


මේ දීනයා දැන් පමණක්‌ නොවේ මීට පෙර ද ඇඳුරු වී සිටියා වු මට හේතුවක්‌ නැති ව වෛර කිරීමෙන් මහත් විනාශයට පත් වූයේ ය කියා (යි)

(c) Shilpa Sayura Foundation 2006-2017