දැක දැක රුසිරු මුනිදුන්
තිදස පුර නුදුන්
අහෝ බල බලව දොස් පුහුදුන්
ඇසක් ඇසක් පාසා රස අදුන් වු මුනි උතුමන් ගේ රූ සිරිය දැක දැකත් මෛත්‍රී ගුණය සිතේ ඇති නොවී ය. අහෝ පෘතග්ජන දෝෂයේ බලය බලව්.
පුහුදුන් - නැවත නැවත සසරේ සැරිසරන්නෝ පුහුදුන්හු ය. කෙළෙස් නො නැසූ අය පුහුදුන් පුද්ගලයන් ය.
මරුට සේවටුවන්
දෙසැට දිටු පස වැටුවන්
විලස මිස දිටුවන්
කළේ තම අත්බව් කිලුටුවන්
මරුවාගේ සේ වටුවන් වු සැට දෙකක් දෘෂ්ටි නමැති පාශයෙහි වැටුණු මිථ්‍යා දෘෂ්ටීන් සෙයින් තමාගේ ආත්ම භාවය කිලුටු පැහැ කළේ ය.
සේ වටුවන් - හීලෑ කරන ලද වටුවන්-වටුවැද්දන් විසින් වටුවන් අල්ලා ගනු සඳහා මල අටවා තබා වටුවන් ගෙන්වනු පිණිස ඒ මල අසල බඳිනු ලබන වටුවෝය. මල අසල බඳින ලද වටුවාගේ හඬ අසා සෙසු වටුවෝ පැමිණ මලෙහි බැදෙති.
ඉඳ ඉඳ එක වෙහෙර
විඳ විඳ දහම් මනහර
සිඳ බිඳ දුක් සසර
අහෝ දෙව්දත් නො දිටි මොක්පුර
එක ම විහාරයේ සිටලාත් සිත් ඇදගන්නාසුලු දහම් (රසය) විඳලාත් දෙව්දත් තෙමේ සසර දුක් කඩා බිඳ දමා නිවන් පුරය නුදුටුවේ ය. අහෝ
මුනි සඳුට වෙර බැඳ
දෙව්දත් කුසල් මුල් සිඳ
කළ අකුසල් නොමඳ
පවස පවසා සහන උන් සඳ
දෙව්දත් තෙර බුදු රජුට වෛර බැඳ කුසල් සහමුලින් ම කඩා දමා කළා වු බොහෝ පව් කිය කියා භික්ෂු සමූහයා උන් කල්හි.
ගිමන ලෙස පවනින්
නිවන බව දුක් නිවනින්
සනස දිව සවනින්
සවන කර ඒ නැගී යහනින්
සුළඟින් ගිමන් (උෂ්ණය) නිවන්නා සේ නිවන් සුවයෙන් සසර දුක් නිවන්නා වු බුදුහු දිවකනින් එබස් අසා (සැතැපුණ) යහනින් නැගී
සවන - සර්වඥ - දත යුතු සියල්ල දන්නා (බුදුරජ)
මරුගෙ තෙද කියපා
කරවන සුරන් පිණිපා
හළ අසරිඳු දපා
බීමට දිගු කළ සඳෙහි සිරි පා
මරුවාගේ තේජස නැති කළ (තෙදකිය-තේජස ක්ෂය කළ) දෙවියන් විසින් වඳිනු ලැබුවා වු, අසුරේන්ද්‍රයාගේ (රාහුගේ) එඩිය දුරුකළ ශ්‍රී පාද බිමට දිගුකළ කල්හි.
අසුරිදු - රාහු - උසින් මහතින් විශාල වු අසුර රජු.
නැගි දෙරණත පළා
විහිදෙන සුවඳ නො වළා
උදහන රොන් සළා
පියුම් පිට සිට සරණ සහළා
පොළෝ තලය පළා ගෙන පැන නැංගා වු නොකඩවා සුවඳ පැතිරෙන, රොන් සුළි උඩට නංවන (තමන් වහන්සේගේ) පතුල් බඳු වු (සහළා) නෙළුම් මල් මත්තේ සිටිමින්
රැඳු ලා රසිනේ
බඳුවද කුසුම් ලෙසිනේ
දිලෙන මද නඳනේ
වසා තුන් මඬුලු ඇඳ අඳනේ
ලතු දියෙන් (ලාක්ෂා රසයෙන්) සායම් කළ බඳුවද මල් සෙයින් බබළන සිත් සතුටු කරන අඳනකඩ මණ්ඩල තුන වැසෙන පරිද්දෙන් ඇඳගෙන.
තුන් මඩුලු - නැඹ හා දෙදණ (පෙකණිය, දනහිස් දෙක)
විදුලි සිරි රඳනා
බැඳ කාබාන සොබනා
රන් දමෙකින් මනා
පබළු කලඹක් බඳින ලෙසිනා
යහපත් වු රන් දම්වැලකින් පබළු රැසක් බඳින්නා සේ විදුලියේ ආකාරය රැදී පවත්නා පටිය (කාබාන) බැඳ.
දිලි රන් පැහැ විහිද
දා ගැබ වසා ලන ලෙද
රත් පලස සිරි ලද
සුගත් සිවුරෙන් වසත බුදු බඳ
රන් පැහැය පැතිරී බැබළුණු දාගැබක් වසන්නා සේ රතුපාට පලසක විලාසය ගත් සුගත් මහා චීවරයෙන් (බුදුන්ගේ සිවුරින්) සිරුර වසත්ම.