ගුත්තිල කාව්‍ය 5
 


 

රැස්‌ ව එහි වැඩ හිඳ
සව් නේ ගෙවා දත් සොඳ
මුණි රජුගෙ ගුණ බඳ
තෙපුල් තෙපලන සඳහෙ මන නඳ

රැස්‌ ව එහි වැඩ හිඳිමින් දත යුතු වූ සියල්ල අවසන් කොට ම මැනවින් දත් බුදු රජුන්ගේ ගුණ පිළිබඳ ව සිතට ප්‍රිය වූ වචන කියන කල්හි.


සව් නේ - සකලවෙදය (දතයුතු සියලු වෙදයමණ්‌ඩලය)


මුනිඳුට වයිර බැඳ
විඳිනා නිරා දුක්‌ තද
දෙව්දත්හු නුගුණ ද
පහළ විය මේ ලෙසින් සබ මැද


බුදු රදුන් කෙරේ වෛර බැඳීමෙන් දැඩි අපා දුක්‌ විඳින්නා වු දෙව්දත්ගේ අවගුණ ද ඒ සබාවේ මේ අයුරින් ප්‍රකාශ විය.


තම සිත තුළ පහන්
ඔහු දොස්‌ නොකොර සඳහන්
ලබනුව සිවු දහන්
පැවිදි කරවා දුන් කමටහන්


තමාගේ පවිත්‍ර සිතෙහි ඔහුගේ නුගුණ නො රඳවා මහණ කරවා ධ්‍යාන සතර ලබා ගන්නා පිණිස කර්මස්‌ථාන දුන්නා වූ.


තෙවළා බණ ඉගෙන
තිලෝ ගුරු මුණි රජු ගෙන
උගතිමි මම මගෙන
කුමන ගුරු දැයි කියයි මුණිඳුන


තුන් ලොවට ගුරු වූ බුදු රජාණන් වහන්සේගෙන් ත්‍රිපිටක ධර්මය (තෙවළා බණ) ඉගෙන ගෙන මුනිඳුන් යනු කවර ගුරුවරයෙක්‌ ද ? මම මගෙන් ම ඉගෙන ගත්තෙමි යි කියයි.
තෙවළා - ත්‍රිපිටකය, වනවළා (විනය පිටකය) සුතක්‌වළා (සූත්‍ර පිටකය) බිදම්වළා (අභිධර්ම පිටකය) යනු තෙවළා යි.


සසර විය බේදය
නොගෙන මුනි අවවාදය
කළේ සඟ බේදය
වීය නිවනට එම පමාදය


සංසාර (නමැති) ලෙඩේට බෙහෙත වු බුදුරදුන්ගේ අවවාදය නො පිළිගෙන සංඝ භේදය කළේය. නිවනට ප්‍රමාදය එය ම විය.


විය - (ව්‍යාධි) රෝගය
බේද - (බෙහෙද) ඔසුව


මැරුව මුනි මහතා
බුදු බව ලැබෙයි නියතා
කර අනුවන සිතා
ඇරැවි නාලාගිරි මදැතා


මහෝත්තම වු බුදුරදුන් මැරුව හොත් නියතයෙන් ම බුදු බව අත් වේ යැයි මෝඩ සිතිවිල්ලක්‌ ඇති කොට ගෙන නාලාගිරි නම් මද ඇතා මෙහෙයවී.


 

යන ලෙස නො හැකිළී
අවා පුරයට නියැළී
කරනෙව් මග හෙළී
බුදුන් මුදුනට ගලක්‌ පෙරළී

තමා ගැටී සිටින (නියැළී) අපායට නො නැමී හෙවත් සෘජු ව ම යනු පිණිස පාර එළි කරන්නා සේ බුදුන්ගේ හිසට ගලක්‌ පෙරඒයේ ය.


පෙර වයිරෙන් බැඳී
විදිනට බුදුන් මඟ දී
දුනුවායන් යෙදී
අහෝ දහමක්‌ සිතේ නො යෙදී


පෙර සිට බැදුණු වෛරය නිසා මාර්ගයේ දී බුදුරදුන්ට විදිණු පිණිස දුනුවායන් යෙදවී ය. සිතෙහි දැහැමි බවක්‌ නො වී ය. අහෝ


අසෙකි සක්‌වල සැම
බඹසුර නරෝ එක්‌ වම
එක්‌ ව ද නො වෙති සම
එයින් මුනිරජ වේ අසම සම


මෙතෙකැයි ගණන් කොට කිය නොහැකි (අසැකි-අසංඛ්‍ය) සියලු සක්‌වල බ්‍රහ්ම, දේව, මනුෂ්‍යයෝ එකට ම එක්‌වීත් බුදුරදුන්ට සම නො වෙති. ඒ නිසා බුදු රජ අසමසම වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017